එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් සිය උපරිමය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාතික කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ, අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග එංගලන්තය බලායෑමට කටුනායක ගුවන්තොටුපොළ බලා පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ගෙන් ජයසූරිය ඉල්ලා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසට යි.
තාවකාලික පුහුණුකරු ලෙස එංගලන්ත තරගාවලිය තමාගේ අවසාන සංචාරය බවත් එම තරගාවලිය උපරිම හොඳින් අවසන් කිරීම තම බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළා.
ප්රශ්නය – අවස්ථාවක් ලැබුණොත් ඉදිරියට පුහුණු තනතුරට ?
“මම ඒ ගැන තාම හිතලා නැහැ. මට දීලා තියෙන්නේ මේ තරගාවලියට විතරයි.”
ප්රශ්නය – වෙන ආරාධනයක් තියෙනවාද ?
“නැහැ කිසිම ආරාධනයක් නැහැ.”
මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා නම් කළා.
ධනංජය ද සිල්වා එහි නායකත්වය දරනවා.
මේ වන විට ක්‍රීඩකයින් 7 දෙනෙක් පූර්ව පුහුණුවීම් කටයුතු සඳහා එංගලන්තය ගොස් සිටිනවා.
නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, කසුන් රාජිත ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙක් එසේ එංගලන්තය ට ගොස් සිටින බව වාර්තා වුණා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
එහි පළමු තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී ආරම්භවන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 29 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹෙනවා.
තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය ලංඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 6 වනදා ආරම්භවීමට නියමිතයි.