2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං විනිසුරුවරියක් සහ තීරකවරියක් ලෙස කටයුතු කළ නෙල්කා ශිරෝමාලා තම්පු මුළු මහත් ජාතියටම ඉමහත් අභිමානයක් රැගෙන ආ කාන්තාවක්. ලොව අංක. 2 හොඳම බොක්සිං තරඟ විනිසුරු සහ තීරකවරිය වන ඇය පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකම ආවරණය කරනවා. ඇය මින් පෙර ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කළේ 2020 වර්ෂයේදීයි.
මෙය විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවෙන් පිරිමි හෝ කාන්තා භේදයකින් තොරව වෙනත් කිසිදු නිලධාරියෙකු මෙවන් ගෞරවයක් ලබාගෙන නොමැති නිසායි.
හැඳින්වීම
1976 ජනවාරි 22 වන දින උපත ලද නෙල්කා ශිරෝමාලා තම්පු ශ්‍රී ලංකාවේ කීර්තිමත් පොලිස් නිලධාරිනියක්, බොක්සිං විනිසුරුවරියක් සහ තීරකවරියක් මෙන්ම හිටපු ජාතික බොක්සිං ක්‍රීඩිකාවක්. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර ජාතික හා ජාත්‍යන්තර බොක්සිං ක්ෂේත්‍ර දෙකෙහිම කැපී පෙනෙන චරිතයක්. ක්‍රීඩාවට ඇති ඇයගේ දායකත්වය නිසා ඇයව “queen of the ring” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
බාල සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් ඇගේ පවුලේ වැඩිමහල් දරුවා ලෙස නෙල්කා උපත ලැබුවාය. ඇගේ පියා දෙමළ ජාතික තම්බු සම්පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බොක්සිං ක්‍රීඩකයෙකු සහ බොක්සිං පුහුණුකරුවෙකු වූ අතර ඇගේ මව සිංහල ජාතිකයෙක්. ඇය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇත්තේ ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයෙන්. නෙල්කා බොක්සිං ක්‍රීඩාවට මුල් වරට අවතීර්ණ වූයේ ඇගේ පළමු පුහුණුකරු ලෙස කටයුතු කළ ඇගේ පියාගෙන්.
වෘත්තීය ආරම්භය
නෙල්කා 1997 දී ශ්‍රී ලංකා පොලිසියට එක්වන්නේ පුහුණු උප පොලිස් පරීක්ෂකවරියක් ලෙසයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ තීව්ර කාල පරිච්ඡේදය තුළ ඇයගේ මුල් තනතුර උතුරු පළාතේ වවුනියාව ප්රදේශයයි. පොලිස් රාජකාරියට අමතරව වෙඩි තැබීමේ දස්කම් දැක්වූ ඇය 1997 සහ 1998 වසරවල පිස්තෝල වෙඩි තැබීමේ අංශයේ දක්ෂතම පොලිස් වෙඩික්කාරිනිය ලෙසද සම්මානයට පාත්‍ර වුණා.
නෙල්කා 2001 වසරේදී වෘත්තීයමය වශයෙන් බොක්සිං ක්‍රීඩාවට යොමු වුණා. 2002 සිට 2006 දක්වා ශ්‍රී ලංකා පොලිස් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රබල තරගකාරියක් වන්නට ඇයට ඉක්මනින්ම හැකියාව ලැබුණා. නෙල්කා, පළමු ශ්‍රී ලාංකික කාන්තා පොලිස් බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වූ අතර ජාත්‍යන්තර බොක්සිං ඉසව්වලටද ඉදිරිපත් වුණා. ඇය අඛණ්ඩව වසර පහක් ජාතික බොක්සිං ශූරතාවලියේ හොඳම පරාජිතයා සම්මානය ද දිනා ගත්තා.
ජාත්‍යන්තර බොක්සිං විනිසුරු
2009 දී නෙල්කා බොක්සිං විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට මාරු වුණා. 2011 වන විට, ඇය I මට්ටමේ විනිසුරු තත්ත්වය ලබා ගත් අතර, 2011 ඉන්දුනීසියානු ජනාධිපති කුසලානයේදී ඇය ජාත්‍යන්තරයට පිවිසි අතර, ජාත්‍යන්තරව විනිශ්චය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තා බොක්සිං විනිසුරුවරිය බවටද පත්වුණා. ඇය ඔලිම්පික් ටෙස්ට් ඉසව්වකට ද සහභාගී වූ අතර ලන්ඩන් ඔලිම්පික් අත්හදා බැලීම් අතරතුර II මට්ටමේ තීරක ලෙස උසස් වුණා.
2013 වසරේ ඇය දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රථම කාන්තා තරු 3 විනිසුරුවරිය බවට පත්වීමත් සමඟ ඇයගේ වෘත්තීය ජීවිතය නව තලයකට ළඟා වුණා. නෙල්කා 2014 දකුණු කොරියාවේ පැවති AIBA කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියේ විනිසුරුවරිය වූ අතර 2015 තායිලන්තයේ පැවති ආසියානු කාන්තා ආධුනික බොක්සිං ශූරතා අවසන් මහා තරගයේ එකම කාන්තා විනිසුරුවරිය වුණා. ඇය ලෝක තරගමාලා බොක්සිං විනිසුරුවරියක් ලෙසද සුදුසුකම් ලැබුවා.
පිළිගැනීම සහ ජයග්‍රහණ
නෙල්කාගේ සුවිශේෂී දස්කම් සහ දායකත්වය නිසා 2017 වසරේ ආසියානු බොක්සිං සම්මේලනයේ හොඳම විනිසුරු සම්මානය ඇයට හිමි වූ අතර, මෙම ගෞරවය හිමි වූ පළමු කාන්තාව ඇයයි. ඇය 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහ 2019 AIBA ලෝක බොක්සිං ශූරතාවලියේ විනිසුරුවරිය ලෙස ද තේරී පත් වුණා. ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික බොක්සිං විනිසුරුවරිය බවට පත් වුණා. ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවක් ලෙස කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානයකින් ද පිදුම් ලැබුවා.
ඔලිම්පික් සන්ධිස්ථාන
නෙල්කා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ විනිසුරුවරිය සහ තීරකවරියක් ලෙස නැවත වරක් ඉතිහාසගත වූ අතර එහිදී ඔලිම්පික් උළෙලේ විනිසුරු ලෙස කටයුතු කළ පළමු ශ්‍රී ලාංකික කාන්තා බොක්සිං විනිසුරුවරිය බවට ඇය පත් වුණා. ඇය පිරිමි ලයිට් හෙවිවේට් අවසන් මහා තරගයේ සහ කාන්තා සැහැල්ලු බර පංතියේ අවසන් මහා තරගයේ විනිසුරුවරිය ලෙස කටයුතු කළ අතර ඔලිම්පික් බොක්සිං ඉසව්වේ අවසන් තරග දෙකක් හසුරුවන පළමු ශ්‍රී ලංකා බොක්සිං විනිසුරුවරිය බවට පත්වුණා. ඇයගේ සහභාගිත්වය සනිටුහන් වූයේ ධර්මසිරි වීරකෝන්ගෙන් පසුව ශ්‍රී ලංකා බොක්සිං විනිසුරුවරියක් ඔලිම්පික් උළෙලේ විනිශ්චය කළ දෙවැනි අවස්ථාව බවට පත්වෙමින්.
වත්මන් භූමිකාව
අද, නෙල්කා ශිරෝමාලා තම්පු ශ්‍රී ලංකාවේ සංචාරක පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවය කරනවා.
ජාතික බොක්සිං ක්‍රීඩිකාවකගේ සිට ජාත්‍යන්තර තීරකවරියක් දක්වා වූ ඇයගේ විශිෂ්ට ගමනට මෙන්ම ක්‍රීඩාව සඳහා තිබෙන ඇයගේ කැපවීම නිසාම ඇයට තවත් ඉදිරියටම යෑමට අපි සුභාශිංසන එකතු කරනවා.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇය ලැබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාව ජාතියක් ලෙස සැබවින්ම ආඩම්බර විය යුතු කරුණක්.