බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබෙනවා.
මෙවර කාන්තා CPL තරගාවලිය ඊයේ (21) ආරම්භ වූ අතර, එහි Trinbago වෙනුවෙන් තෝරාගෙන සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා Meg Lanning ආබාධයකට ලක්වීම හේතුවෙන් හර්ෂිතාට මෙම අවස්ථාව හිමි වුණා.
ඒ අනුව චමරි අතපත්තුගෙන් පසු විදෙස් ක්‍රිකට් ලීගයක් ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ඇය වනවා.
වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක බවට පත්වී සිටින හර්ෂිතා, නිමාවූ අයර්ලන්තයට එරෙහි එක්දින මෙන්ම විස්සයි 20 තරගාවලියේදී ද විශිෂ්ට දස්කම් දැක්වුවා.
ඉන් ඇය එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 105ක් රැස්කළ අතර, එය චමරි අතපත්තුගෙන් පසු මෙරට පිතිකාරිණියක එක්දින තරගයකදී රැස්කළ තෙවැනි ශතකය ලෙසින් වාර්තා අතරටද එක්වුණා.
එමෙන්ම ඇය එක්දින තරගාවලියේ පළමු තරග දෙකෙහිම අර්ධ ශතක රැස්කළා.
ඇය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු ශූරියන් ලෙසින් කිරුළු පැළදීමටද විශිෂ්ට දායකත්වයක් දැක්වූ අතර, එහි අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජය වෙනුවෙන් වටිනා ලකුණු 69ක් රැස් කළා.
එම ඉනිම තුළින් හර්ෂිතා ජාත්‍යන්තරයේ වැඩි කථාබහකටද ලක්වීමට විශේෂ හේතුවක් වුණා.
හර්ෂිතාට අමතරව ඔස්ට්‍රේලියාවේ ජෙස් ජොනසෙන්, ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් වන Shikha Pandey හා Jemimah Rodrigues යන ක්‍රීඩිකාවන්ද ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාවන් ලෙසින් එක්වී සිටිනවා.
හර්ෂිතාට අමතරව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුද CPL තරගාවලියට එක්වී තිබෙනවා.
26 හැවිරිදි හර්ෂිතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 ඉනිම් 61කට ක්‍රීඩාකර ලකුණු 1,463ක් රැස්කර ඇති අතර
අර්ධ ශතක 08කට හිමිකම් කියන ඇයගේ ඉහළම ඉනිම වන්නේ නිමා වූ අයර්ලන්තයට එරෙහි තරගාවලියේ නොදැවී ලකුණු 86ක් රැස්කිරීමයි.