ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ විවිධත්ව කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස නෙල්කා ශිරෝමාලා තම්පු පත් කර තිබෙනවා.
නෙල්කා ශිරෝමාලා, ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං තීරකවරියක් සහ විනිසුරුවරියක්. පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිමි සහ කාන්තා අංශ දෙකේම අංක 2 හොඳම බොක්සිං තීරකවරිය සහ විනිසුරුවරිය ලෙසටද ඇය පිළිගැනීමට ලක් වුණා. ටෝකියෝ 2020 සහ පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විනිශ්චයකාර ලෙස කටයුතු කළ එකම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වීම නිසා මෙම ගෞරවය ලැබීමට ඇයට හැකියාව ලැබුණා. හිටපු බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස ඇය, ශ්‍රී ලංකාවේ හොඳම පරාජිත ක්‍රීඩිකාව සම්මානය ද කිහිප වතාවක් දිනා ගත්තා.
ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ලෙස සිටින ඇයගේ මෙම නව භූමිකාව, කාන්තා බොක්සිං ක්‍රීඩාවේ පරිවර්තනීය වෙනසකට මුල පුරනු ඇත. ඇයට මේ පිළිබඳව ඇති පුළුල් පළපුරුද්ද සහ ජාත්‍යන්තර කීර්තිය, කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන්ට නව අවස්ථා ලබා දීමේ සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දී ක්‍රීඩාවේ සෑම අංශයකින්ම සහාය වීමට උපකාරී වනු ඇත.
කෙසේවෙතත් නෙල්කාගේ ගමන අභියෝග වලින් තොර එකක් නොවේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ පාලනය යටතේ පැවති හිරිහැර සහ බාධාවන් මෙන්ම කලාපීය තරගාවලියන්හි විනිශ්චය කිරීමේ අවස්ථාවන් අහිමි වීම ඇයගේ ගමනේ අභියෝගයන් වුණා.
බොක්සිං සංගමයේ ජනාධිපති අනුරුද්ධ බණ්ඩාර ශානක මහතාගේ නායකත්වයෙන් නව විධායක කමිටුවක් පත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය සුබදායක බව පෙනෙන්නට තිබෙනවා. විවිධත්ව කොමිසමේ සභාපතිනිය ලෙස නෙල්කා ශිරෝමාලා තම්පු පත් කිරීම, කාන්තා බොක්සිං ක්‍රීඩාවේ නව යුගයක් ආරම්භ කිරීමට උපකාරී වන බව අපගේ විශ්වාසයයි. ඇයගේ නායකත්වය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා දීප්තිමත් අනාගතයක් ලබා දීමට උපකාරී වනු ඇත.