එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට අද (01) සිදු වුණා.
ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 483ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 86.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 292ක් පමණයි.
ශ්රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න (55), දිනේෂ් චන්දිමාල් (58), නායක ධනංජය ද සිල්වා (50) හා මිලාන් රත්නායක (43) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වුවද පරාජය වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගස් ඇට්කින්සන් ලකුණු 62කට කඩුලු 05ක් දවා ගත්තා.
සිවු දිනකින් අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 196ක් පමණයි.
ඒ අනුව ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කර ශ්රී ලංකාවට ලකුණු 483ක් ඉලක්කයක් ලබා දුන්නා.
මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසයි.
අද අවසන් වූ තරගයද ඇතුළුව දෙරට අතර ලෝඩ්ස් ක්රීඩාංගණයේ තරග 09ක් පැවැත්වී ඇති අතර, ඉන් අවසන් වරට ශ්රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ 1991 වසරේදීයි.
ඉන් අනතුරුව 2002 වසරේ සිට මීට පෙර පැවති තරග පහම ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
තරගයේ වීරයා ලෙසින් තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ගස් ඇට්කින්සන් සම්මාන දිනා ගත්තා.
ඔහු ශතකයක් (118) සමගින් පන්දු යැවීමෙන් කඩුලු 07ක් බිඳ දැමීමට සමත් වුණා.