ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 167ක් සහ නාවිකයන් 10,002ක් ඉකුත් වසර පහේදී (2019 – 2023) සේවය හැරගොස් තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් හෙළි කරනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නොගත් බවයි.
නාවික හමුදාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාව මත පදනම්වයි මේ තොරතුරු වාර්තා වන්නේ.
2019 සිට 2023 දක්වා කාලයේ දී නිලධාරීන් 537ක් සහ නාවිකයන් 17,734 ක් නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා.
නමුත් විශ්‍රාම හා සේවය හැරගිය සංඛ්‍යාව පිළිවෙළින් 580ක් සහ 17,734ක් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව නාවික හමුදාවෙන් ඉවත් වූ සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා ප්‍රමාණය 52%ක පහළ මට්ටමක පැවති බවයි සඳහන් වන්නේ.
මේ අතර නාවික හමුදාවේ නෞකා හා යාත්‍රා 63ක් ඉකුත් වසර අවසානය වන විට අක්‍රියව පැවතුණ බව එම විගණන වාර්තාව පෙන්වා දෙනවා.
අක්වෙරළ නිරීක්ෂණ නෞකා 6ක්, වේග ප්‍රහාරක නෞකා 3ක්, වෙරළ ආරක්ෂක ප්‍රහාරක යාත්‍රා 31ක්, වෙරළ නිරීක්ෂණ මුර යාත්‍රා 8ක් සහ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා 4ක් ඊට ඇතුළත් බවද සඳහන්.
නෞකා, බෝට්ටු, යාත්‍රා අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් කෝටි 1785ක් වැය වන බවත් පැවති ප්‍රතිපාදනවලින් රුපියල් 1273ක් යොදවා තිබීමත් මෙයට ප්‍රධාන හේතුවක් බව එහි සඳහන්.
වැලිසර නාවික හමුදා රෝහලේ 2020 සිට 2023 ජුනි දක්වා කාලයේදී නේවාසික සහ බාහිර ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී තිබෙන බව පැවසෙනවා.
නමුත් රෝහල් කාර්ය මණ්ඩලය 365 සිට 286 දක්වා අඩු වීමෙන් රෝහල් සේවාවලදී එම කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසට පත්ව සිට තිබෙන බවයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙන්නේ.
මේ වාර්තාව සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වුණේ 2019 – 2023 අතර කාලයේදී විවිධ හේතු මත නීත්‍යානුකූලව බහුතර නිලධාරීන් හා නාවිකයන් පිරිසක් ඉවත්ව තිබෙන බවයි.
මේ අතර ඉතා සුළු පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට හමුදාව හැරගොස් ඇති බව එහි සඳහන්.
ඊට සාපේක්ෂව නව බඳවා ගැනීම් සඳහා කටයුතු කෙරුණද එවකට පැවති කොවිඩ් වසංගතය, හමුදා සේවයට බැඳීමට තරුණයන්ගේ මැලිකම හා රජයේ නව බඳවා ගැනීම අත්හිටුවීම නිසා නාවික හමුදාවෙන් ඉවත් වූ පිරිසට සාපේක්ෂව බඳවා ගැනීම දුෂ්කර වූ බවද සඳහන් වනවා.
එමෙන්ම එවකට පැවති වාතාවරණය තුළ දෙස් විදෙස් සැපයුම් ජාලය අක්‍රීය වීම හේතුවෙන් අවශ්‍ය කටයුතුවලට ප්‍රතිපාදන භාවිතය අඩු වූ බවද දක්වා තිබෙනවා.
එමෙන්ම වැලිසර නාවික හමුදා රෝහලේ තදබදයක් ඇතිවූයේ ආර්ථික අපහසුතා මත නාවික පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් වැඩි වශයෙන් එම රෝහලට යොමුවීම මත බවද දැක්වෙනවා.