පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවටද සහතික වුණා.
මෑත කාලයේ මෙරට සිදු වූ විශාලතම ඛේදවාචකය වන පාස්කු ප්‍රහාරය කාලයේ වැලි තලාවට යටපත් වුවත්, එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙරට පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළා.
දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුලිනුපුටා දැමිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වුවා දැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි.
විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්රශ්නය ජනතාව තුළ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.