ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතළ වැඩසහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) නියම කළා.
එක් චෝදනාවකට වසර 04 බැගින් විත්තිකරු වරදකරු කෙරුණු චෝදනා දෙකට වසර 08ක අනිවාර්ය බරපතළ වැඩසහිත සිරඳඩුවම් නියම කළ විසුරුවරයා රුපියල් 20,000/-ක දඩයකටද විත්තිකරු යටත් කර තිබෙනවා.
වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නීතීඥභාවය අත්හිටුවා තිබියදී විත්තිකාර නීතීඥයා මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ සිරදඬුවම නියම කළා.
නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතුකවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන හෙයින් මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කළා.
2013 ඔක්තෝම්බර් 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී මියගිය නීතීඥවරයකුගේ නමක් යෙදු ව්‍යාජ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීම, කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබුණා.
විත්තිකාර නීතීඥවරයාට එරෙහිව 2015 වසරේදී කොළඹ මහාධිකරණයේ අධිචෝදනා මත නීතිපතිවරයා නඩු පැවරූ අතර ඒ සම්බන්ධ නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කළ විනිසුරුවයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා කරුණු දක්වමින් 2011 වසරේදී විත්තිකරුගේ නීතීඥභාවය වසර 10ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලිකව අත්හිටුවා තිබියදී ඔහු මියගිය නීතීඥවරයකුගේ නොතාරිස් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙම නඩුවට පාදක වු ඉඩමට වංචනික අන්දමින් ඔප්පු සකස් කර ඇති බවට සඳහන් කළා.
නීතීය දන්නා පුද්ගලයින් කරන අපරාධ හේතූවෙන් සමාජය මහත් පිරිහීමකට ලක් වන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා මෙවැනි අපරාධ කරන වෙනත් පුද්ගලයින්ටද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අදාළ දඬුවම් නියම කළා.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිශාන් රත්නායන මහතා පෙනී සිටියා.