2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේඛනයට දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු ඇතුළත් කර තිබෙන බව අප පසුගිය දවසක දැක්වූ ලිපියක සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්වීමට අවස්ථාව උදා වෙන්නේ පළමු වතාවටයි.
මේ ඔහු ගැනයි.
ඔහු, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා.
සුගත්, 1967 ජූලි 26 වන දා, එනම් මීට වසර 57කට පෙර දකුණු පළාතේ බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේදී උපත ලැබුවේ, දෑස් පෙනෙන සාමාන්‍ය බිළිඳෙකු ලෙස ය
“මම ඇස් පෙනෙන කෙනෙක් විදිහට තමයි, මේ ලෝකෙට ආවේ. මම මුලින් ම බාලාංශයේ සිට තුනේ පන්තිය දක්වා ගියේ, කන්දෙගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එතන ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මම වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයට ගියා,” ඔහු සිය අතීතය ආවර්ජණය කළේ එලෙසයි.
ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කළ දෛවෝපගත සිද්ධිය සිදුවූයේ, පාසලේ 5 ශ්‍රේණියේ එනම්, 11 හැවිරිදි වියේ පසුවද්දී ය.“පහේ පන්තියේදී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා බෝලයක් ඇහේ වැදිච්ච අනතුරකින් තමයි මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණේ. ඒ අනතුරේදී මගේ ස්නායුවලට හානි වෙලා ඇස් දෙක ම පේන්නෙ නැතුව ගියා,” ඔහු ප්‍රකාශ කළා.
ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. ඒ, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වාගේ මග පෙන්වීම යටතේයි.
උසස් පෙළ විභාගය සඳහා ඔහු යළිත් අම්බලන්ගොඩ, ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ ඉහළින්ම සමත්වූ සුගත්, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා.
“මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, 1990 වසරේ. මුල් අවුරුද්දේ සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට පුළුවන් වුණා ඉතිහාසය විශේෂවේදී විෂය හදාරන්න. ඊට පස්සෙ මම ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් එක්ක 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කළා.”
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ එවකට කථිකාචාර්යවරයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි, සුගත් වසන්ත ද සිල්වා ඔහුගේ මුල් ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි අයෙක්.
ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළා.
වසර ගණනක් එහි සේවය කළ ඔහු, 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කර තිබෙනවා.
“ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසා මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මම කරපු රැකියාවේ හැටියට දේශපාලනය කරනවා නම් රැකියාව තවදුරටත් කරන්න බැහැ. ඒ නිසා මම විශ්‍රාම ගත්තා,” යනුවෙන් ඔහු සඳහන් කළා.
“මගේ දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක. එහෙදි, හම්බ වුණ පාසල් ශිෂ්‍ය සහෝදරයොත් එක්ක පාසල් ශිෂ්‍ය ව්‍යාපාරවල වැඩ කරලා තියෙනවා,”
කෙසේවෙතත් ඉන් අනතුරුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුවයි.
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබුණහොත් ඉටු කිරීමට අපේක්ෂා කරන කාර්යයන් පිළිබඳව දැක්වූයේ මෙවැන්නක්.
2012 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාව තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 17ක් සිටිනවා. සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ, ආබාධ සහිත පුද්ගලයින්ගෙන් 57%ක් කාන්තාවන් බවයි.
ඊට අමතරව, ආබාධ සහිත වූවන්ගෙන් 71%ක් කිසිදු ආර්ථික කටයුත්තක නිරත නොවී යැපෙන්නන් ලෙස ජීවත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.
“මම පාර්ලිමේන්තුවට ගියොත් නියෝජනය කරන්නේ, දෘශ්‍යාබාධිත ප්‍රජාව විතරක් නෙවෙයි. සියලු ආකාරයේ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණය සහ සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මම කැපවෙන්නේ. ආබාධ නැති පුද්ගලයින්ට ලැබෙන සමාන සහ සාධාරණ අවස්ථා ආබාධ සහිත වූවන්ටත් ලැබිය යුතු යි. ඒ සමානාත්මතාව සහ සාධාරණය සෑම අංශයකින් ම හිමි විය යුතු යි.”
“දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් තියෙන ප්රශස්ත ම ලියවිල්ල තමයි, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්රඥප්තිය. ඒක අංග සම්පූර්ණ නෑ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. හැබැයි අපි ඒකවත් අනුගමනය කරන්න ඕන. අපි ඒ ප්රඥප්තියට අත්සන් කරලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරලා නෑ. ඒ ගැනත් අපි ක්‍රියා කරනවා.”
ඊට අමතරව, ආබාධිත ප්‍රජාවේ ශුභසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන අනුපාතයට අනුව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම ද සිය අරමුණු බවත් ඔහු සඳහන් කළා.