ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි ප්‍රකාශ කළා.
වසර 2030 වන විට මෙරටින් උතුරු මැද පලාත තුල එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග මර්දනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් ඒඩ්ස් කමිටුව අනුරාධපුර,විජයපුර පිහිටි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි රැස්වුණා.
එම කමිටු රැස්විමේදි අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ,
මෙරටින් පළමු ඒච්අයිවි රෝගියා වර්තා වී ඇත්තේ 1987 වසරේ දී යි. වර්තමානය වන විට ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හදුනාගෙන ඇති එච්අයිවි ආසාදිතයින් සංඛ්‍යාව 3,409 ක්. එහෙත් අසාධනය වීමේ ප්‍රතිශතය අතින් ගත් කළ රට තුල මෙය පැතිර යාමේ අවදානම ඇත්තේ ඉතා අඩුවෙන්. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.1% පමණ වනවා. එම තත්ත්වය උදාකරගත හැකිව ඇත්තේ දැනුවත් කිරීම් හා රෝගීන් හදුනාගැනීම් සදහා විධිමත් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක වන නිසායි.
කෙසේවෙතත් පෙරට වඩා ඒඩ්ස් රෝගීන් වාර්තාවීමේ වැඩි බවක් දක්නට ලැබෙනවා. උතුරු මැද පළාත තුල යම් කැපී පෙනෙන වර්ධනයක් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් වාර්තාවීම වැඩි වි තිබෙනවා. මෙරට සියලු දිස්ත්‍රික්ක අතරින් ඒඩ්ස් රෝගීන් වාර්තාවීම අතින් පොලොන්නරුව දිස්ත්‍රික්කය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.
පිරිමි සමලිංගික ක්‍රියා හේතුවෙන් වැඩි වශයෙන් එච්අයිවි රෝගය සැදිම බහුලව දක්නට ලැබෙනවා. මීට අමතරව ලිංගික ශ්‍රමිකයින්ගෙන් , ලිංගික සංක්‍රාන්තිකයින්ගෙන් , වෙරලාශ්රිත පිරිස් වලින් (beach boys), විවිධ ඖෂධ වර්ග එන්නත් කරගන්නා අයගෙන් ද රෝගය පැතිරයාම සිදුවනවා. කෙසේ වෙතත් එච්අයිවි ආසාධිතයින් හදුනාගැනීම සදහා වසරකට මිලියනයක පමණ පිරිසක් පරීක්ෂා කිරීම් කරනවා. මේ සදහාම රට පුරා සායන 40ක් ක්‍රියාත්මකයි. 2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ඒඩ්ස් ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වෙනවා. වසර 2030 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කිරිම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා කියා සිටියේ මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 148 දෙනෙකු හදුනාගෙන ඇති බවයි. පළමු වරට දිස්ත්‍රික්කයෙන් ආසාධිතයකු හමු වී ඇත්තේ 2002 වසරේ දී යි. දැනට හමු වී ඇති රෝගීන්ගෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. දැනට ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 110 කි. මෙම පිරිසෙන් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 27 දෙනෙකු කාන්තාවන්. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වසරකට ආරක්ෂිත ලිංගික ඇසුර සදහා කොණ්ඩම් එක්ලක්ෂ විසිදහසක් බෙදාහරින බවද ඔහු කියා සිටියා.