සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් මෙන්ම, ශ්‍රී ලංකා රජය ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ විවිධ අංශ හරහා සංවර්ධනය වේගවත් කිරීමට විශාල වශයෙන් යැපෙන්නේ බහුජාතික පරිත්‍යාගශීලී නියෝජිතායතන වල සහාය මතයි.
එවැනි නියෝජිතායතනයක් වන ආසියානු සංවර්ධන බැංකුව (ADB) ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංචාරක ඇතුළු අනෙකුත් ක්ෂේත්රය වල සංවර්ධන ව්‍යාපෘති වලට සහාය වීමට ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කරන අතර මෑතකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්රදානයක්ද මෙරටට ලබා දීමට සහතික වුණා.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිඥාවක් ලබා දී ඇති වටපිටාවක, මුදල් අවභාවිතා කිරීම පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය වී තිබේ. මෙම ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් උපදේශකයින් වෙනුවෙන් යෙදවීමෙන් හැඟවෙන්නේ මුදල් වංචා කිරීමේ ප්රයත්නයක් ඇති බවයි.
සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති රාශියකට ආසියානු සංවර්ධන බැංකුව වසර ගණනාවක් පුරා සම්බන්ධ වී සිටිනවා. ත්‍රිකුණාමලය, දඹුල්ල සහ සීගිරිය වැනි ප්‍රදේශ වල සංචාරක සහ නාගරික සංවර්ධනය සඳහා දැනටමත් ඇ.ඩො. මිලියන 30ක මුදලක් වෙන්කර ඇතත්, මෙම අරමුදල් කුමකට කෙසේ භාවිතා කරන්නේ ද යන්න අපැහැදිලිය. ශ්‍රී ලංකාවේ සිටින ADB කාර්ය මණ්ඩලය අරමුදල් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව සැකසංකා පැන නැඟී ඇති වටපිටාවක, අනෙකුත් සංචාරක ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙන්කර ඇති ඉතිරි ඇ.ඩො. මිලියන 70 ක මුදල ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.
සංචාරක ව්‍යාපෘති සහ උපදේශකවරුන්ගේ බලාධිකාරය
දේශීය සංචාරක නියෝජිතායතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) යටතේ වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද සංචාරක ව්‍යාපෘති බොහොමයක් අවසන් වී ඇතත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් සම්බන්ධීකරණය කරන ලද සංචාරක ක්ෂේත්රය සඳහා දුරකථන යෙදුමක් (travel app) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදවීම අතිශය ප්‍රශ්න සහගතය. විමතියට කරුණ නම්, මෙම ප්‍රමාදයට වගකිව යුත්තේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ම තෝරා ගන්නා ලද ව්‍යාපෘති කළමනාකරුවෙක් වීමය. මේ නිසා ව්‍යාපෘතියේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ සැකයන් ඇති වී තිබේ.
ඉදිරි ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 70ක් දැනටමත් වෙන් කර ඇති හෙයින්, ආසියානු සංවර්ධන බැංකුව දේශීය සංචාරක ආයතන සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ අතර අරමුදල් වඩාත් හොඳින් යෙදවීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට උපදේශකයින් කණ්ඩායමක් ද පත්කරන ලදී. කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය උපදේශකයින් මෙයට සම්බන්ධ වීම ප්‍රශ්න සහගතය. වාර්තා වලට අනුව, “Visit Sri Lanka Act” නමින් හැඳින්වෙන නව නීති සම්පාදනයක් කඩිමුඩියේ ඉදිරිපත් කිරීමට මැනිලා හි පිහිටි ADB මූලස්ථානය විසින් පත්කරන ලද උපදේශකවරුන්ට විශාල පීඩනයක් එල්ල වී තිබේ. මෙම යෝජිත පනත ‘අසාර්ථක’ යැයි පවසමින් විශේෂඥයෝ එය දැඩි විවේචනයට ලක් කළා.
ප්රමුඛ සංචාරක නියෝජිතායතන, ඒවායේ ප්‍රධානීන් සහ වෙළඳ සංගම් මෙම යෝජිත පනතට සම්පූර්ණ විරෝධය පෑ අතර, එය සංචාරක ක්ෂේත්රයට දිගුකාලීනව ඍණාත්මක ප්‍රතිඵල ඇති කළ හැකි එකක් මෙන්ම, අනවශ්‍ය සහ කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද්දක් යැයි පෙන්වා දුන්නා. මෙම විරෝධතා මධ්‍යයේ, ADB උපදේශකයින්ට මෙම දෝෂ සහිත පනතට ගැලපෙන පරිදි ඔවුන්ගේ යෝජනා සකස් කරන ලෙස බලපෑම් එල්ල වී තිබේ. මෙම පනත පිළිබඳ අවසන් වාර්තාව හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වූ විට එය එකහෙළා ප්‍රතිකෙෂේප කර තිබූ අතර එයට දේශපාලන හේතු මූලික වූවා විය හැක. මෙම වාර්තාවම පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සැලැස්මේ කොටසක් ලෙස කරළියට ආ අතර, එය ආසියානු සංවර්ධන බැංකුවේ ම නිලධාරියෙකු විසින් එළිදරවු කර ඇති බවට අනුමාන කෙරුණා.
උපදේශකයන්ට මුදල් ගලා යෑම පිටුපස ඇත්තේ රහසිගත සැලසුමක් ද?
මෑතකදී පැවති ADB මෙහෙයුම් කමිටු රැස්වීම් වලදී හෙළිදරව් වූ ප්‍රධාන කරුණක් වන්නේ උපදේශකයින් සඳහා වෙන් කර ඇති අති විශාල මුදල් ප්‍රමාණයයි. වාර්තා වලට අනුව, ඇ.ඩො. මිලියන 1.5 ක අරමුදල් ප්‍රතිපාදන වලින් 60%ක් උපදේශන ගාස්තු සඳහා වෙන් කර ඇති අතර එය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් අංශය (ERD) විසින් අනුමත කර ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිය. මේ අනුව පෙනී යන්නේ සංචාරක ක්ෂේත්රයේ ප්‍රගතිය සඳහා වෙන් කෙරෙන අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය හා ජාත්‍යන්තර උපදේශකයින්ගේ මඩිය තරකිරීමට යෙදවෙන බවයි. එය ව්‍යාපෘති වල ප්‍රගතියට විශාල බලපෑමක් ඇති කරයි.
සංචාරක නියෝජිතායතන පෙන්වා දෙන ආකාරයට, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය උපදේශකයින්, මෙම ආයතනවල සැබෑ අවශ්‍යතා නොසලකා හරිමින්, උපදේශකයින් සඳහා අනවශ්‍ය භූමිකාවන් සහ ව්‍යාපෘති නිර්මාණය කරමින්, ප්‍රතිපාදන හා කාලය නාස්ති කිරීමට උත්සාහ දරමින් සිටියි. මෙමඟින් ඔවුන්ට උපදේශනය සම්බන්ධ වියදම් සඳහා සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස යෙදවීමට හැකි වී තිබේ. උපදේශකයින් තම පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යුහය අවභාවිතා කරන බවට සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනෙක් චෝදනා නඟන අතර ඔවුන් පවසන්නේ මැනිලා හි සිටින ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය මෙම මුදල් අවභාවිතාව පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
මෙම අවභාවිතාවට හොඳම උදාහරණයක් වන්නේ, Pekoe Trail ව්‍යාපෘතියට යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) වෙතින් අරමුදල් ලබා දී තිබූ පසුබිමක, එම ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා ADBය විසින් ඉදිරිපත් කළ යෝජනාවයි. කෙසේවෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, මීට පෙර ව්‍යාපෘතිය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ කරමින් Pekoe Trail සඳහා තවදුරටත් අරමුදල් සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. පුදුමයට කරුණක් වූයේ, තවත් අරමුදල් ලබාගැනීම සඳහා විධිමත් ඉල්ලීමක් කර නොතිබූ පසුබිමක, උපදේශකයින් සඳහා විශාල මුදලක් වෙන් කරමින් ADBය ඉදිරිපත් කළ යෝජනාව හරහා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වන බවක් පෙනෙන්නට තිබුණි.
එපමණක් නොව, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) උපදෙස් සහ මග පෙන්වීම යටතේ දස වසරක පුළුල් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක ක්ෂේත්රයේ බලධාරීන් කළ ඉල්ලීම් නොතකා, ආසියානු සංවර්ධන බැංකුව තම යෝජනාවට ඇතුලත් කර තිබුණේ වසර තුනක නව උපායමාර්ගික සැලැස්මකි. දේශීය සංචාරක ක්ෂේත්‍ර ප්‍රධානීන් ADBයේ මෙම සැලැස්ම අනවශ්‍ය එකක් යයි පෙන්වා දුනි. මෙමඟින් නැවත වරක් ඉස්මතු කර පෙන්වූයේ ක්ෂේත්රයේ සැබෑ අවශ්‍යතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය උපදේශකයින් විසින් ගනු ලබන තීරණ අතර පවතින අසම්බන්ධය යි.
විනිවිදභාවයක් නොමැති වීම සහ සදාචාරාත්මක ගැටලු
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක පැවති ADB මෙහෙයුම් කමිටු රැස්වීමකදී, එම සංවිධානයේ විනිවිදභාවයක් නොමැතිකම පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කළා. මෙහිදී, මැනිලා හි පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයෙන් ඇ.ඩො. මිලියන 1.5 ක වෙන්කර ඇති ව්‍යාපෘති නවයක් පිළිබඳ විස්තරාත්මක ලේඛනයක් පිළිබඳ අනාවරණය වූ කරුණු සංචාරක නියෝජිතායතන ප්‍රධානීන්ගේ අවධානයට ලක්විය. මෙම ප්‍රතිපාදන වලින් වැඩිපුර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ උපදේශන සම්බන්ධ වියදම් වෙනුවෙන්.
මෙම රැස්වීමේදී, ADBයේ දේශීය කාර්ය මණ්ඩලය සහ නිලධාරීහු අදාළ ලේඛනය පිළිබඳ කිසිදු අයුරකින් දැනුවත් නැති බව තරයේ ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා දේශීය සංචාරක කර්මාන්තය පිළිබඳ ව නිසි අවබෝධයකින් තොරව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලය මෙවැනි යෝජනාවක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. පාර්ශ්වකරුවන් සමඟ නිසි පරිදි උපදේශන සාකච්ඡා නොපැවැත්වීම ADBයේ කල්ක්‍රියාව පිළිබඳ සැකය තවත් වැඩි කිරීමට හේතු වුණා.
අදාළ රැස්වීම් සටහන්වල පිටපතක් ලබා ගැනීමට ගත් උත්සාහයන් මෙතෙක් අසාර්ථක වූ නමුදු, සම්පූර්ණ රැස්වීම පටිගත කර ඇති බව වාර්තා වේ. එම සටහන් වලට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය කාර්ය මණ්ඩලයේ සදාචාර විරෝධී ක්‍රියා හෙළිදරව් වී ඇති බව වාර්තා වේ. මෙමඟින් පෙන්නුම් කරන්නේ, උපදේශකයන් සම්බන්ධ වියදම් සැලකිය යුතු ලෙස වැඩි වීමත් සමඟ අරමුදල් වංචා කිරීමේ කූටෝපායක් ඇති බවයි.
වගවීමේ අවශ්‍යතාවය
ADBයේ සමහර දේශීය උපදේශකයින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට තම පෞද්ගලික න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන බව ක්ෂේත්‍ර ප්‍රවීණයන් චෝදනා නඟනවා. මෙම උපදේශකයින් ව්‍යාපෘති කළමනාකරණයේ දී තම ඒකාධිකාරය පතුරුවමින්, වෙනත් උපදේශකයින්ට හෝ සංචාරක නිලධාරීන්ට ඒවාට මැදිහත් වීමට අපහසු වන ලෙස කටයුතු කරමින්, උපදේශන ගාස්තු සඳහා තවදුරටත් වැඩිපුර අරමුදල් යෙදවීමට කටයුතු කරන බව පෙනෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් සමඟ කටයුතු කිරීමේදී නව රජය සැලකිලිමත් විය යුතුය. සංචාරක ක්ෂේත්රය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉතා වැදගත් නමුදු, මෙම අරමුදල් විනිවිදභාවයකින් සහ ක්ෂේත්රයේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන ආකාරයෙන් වෙන් කර තිබෙන බව සහතික කිරීම ද එකසේ වැදගත් වේ.
හෙළිදරව් වූ කරුණු වල බරපතලකම සැලකිල්ලට ගනිමින්, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් සහ ඔවුන් සංචාරක ව්‍යාපෘති කළමනාකරණ අකාරය පිළිබඳව ADBයේ දූෂණ විරෝධී ඒකකයට පූර්ණ විමර්ශනයක් දියත් කිරීමට කාලය එළඹ ඇත. මෙම උපදේශකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කිරීමෙන් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතු අරමුදල් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සාක්කු පිරවීමට යොදාගන්නේ ද යන්න හෙලිදරව් කරගත හැකිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට සංචාරක ක්ෂේත්රය අතිශයින්ම වැදගත් අංගයකි. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා රජය, අමාත්‍යාංශ, සංචාරක සංවිධාන සහ වෙළඳ සංගම් ඇතුළුව සියලුම පාර්ශවකරුවන් සම්පත් කාර්යක්ෂමව හා නිසි ලෙස භාවිතා කරන බව සහතික කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකියාව ඇති ක්ෂේත්රයක ප්‍රගතිය තවදුරටත් ප්‍රමාද වීම පමණි.