අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.
ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද ඊයේ (08) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබුවා.
විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.
මෙරට කොරියානු තානාපති කාර්යාලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කොරියානුවෙකුගෙන් මෙරට පිහිටි වේවිටෙක් නම් ආයතනයක් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.
අවස්ථා කිහිපයකදී ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් අදාළ කොරියනු ජාතිකයාගෙන් ලබාගෙන ඇති අතර පසුව එම මුදල් ලබාදීම පැහැරහැර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් ව තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතනය හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පවත්වාගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානයේ ඊයේ (08) පස්වරුවේ වටලා ලාංකිකයන් 57 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර ගර්භණී කතුන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් 23න් දෙනෙකු සිටි බවත් පොලීසිය සඳහන් කළා.
පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනාටම භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතින බවත් ඇතැම් පිරිස් භාෂා 5කට අධික පිරිසක් හැසිරවීමේ හැකියාවකින්ද යුතු අය බවය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතීඥරියක් වන මෙහි අධ්යක්ෂවරියක සහ කළමනාකරුවකු ද විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අදාළ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 90ක පමණ මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
තමන්ව තොරතුරු තාක්ෂණ රැකියා බව පවසමින් රැකියාවට බඳවාගත්තද ජපන්, කොරියන් සහ ජර්මන් භාෂා හැසිරවීමට ඇති හැකියාව පමණක් මෙහිදී පරීක්ෂා කළ බව ද සැකකරුවන් පිරිස පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
එම ජාවාරම සිදුකළ අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ 40 වෙනි මහළ විවිධ කොටස්වලට බෙදා තමන්ව විවිධ කොටස්වලට දමා අනෙක් පුද්ගලයන් සමග සබඳතා නොපවත්වන ලෙස දැනුම්දී ඇති බව සැකකරුවන් එහිදී පවසා තිබෙනවා.
මෙරට තුළ අයෝජනය සඳහා විදේශිකයන් සම්බන්ධ කරගැනීම වෙනුවෙන් රුපියල් පනස්දහසක වැටුපට අමතරව කොමිස් මුදලක් ලබාදුන් බව සැකකරුවන් පවසා තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ එකහමාරේ සිට රුපියල් ලක්ෂ 6 දක්වා ඇතැම් පිරිස් වැටුප් ලබාගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් මෙම ජාවාරම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් දැන සිට නැහැ.
ඔවුන්ව සේවා මුර ක්‍රමයට සේවයට කැඳවා ඇති අතර මෙහිදී විදේශිකයන් ආයෝජනය කරන මුදල්වලට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳවද ඔවුන් කිසිවක් දැන සිටි නැති බවයි පැවසෙන්නේ.
සියලු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් පිරිස අද දහවල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළවත් නොමැති ආරක්ෂාවක් අදාළ ස්ථානය තුළ පැවැති බවයි.
විමර්ශන නිලධාරීන් එම ස්ථානයට ඇතුළු වනවිටම එහි පැවැති පරිගණක පද්ධතිය අක්‍රීය කර ඇති අතර විදේශිකයන්ගෙන් මුදල් ආයෝජන ලබාගැනීම සඳහා සකසන ලද ව්‍යාජ ලේඛනද අදාළ පරිගණක තුළ තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළා.
වේව්ටෙක් නම් මෙම ආයතනය සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇති බවත් මෙම වංචාව පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් පවා වික්ශිප්ත වූ බවත් ඔවුන් පෙන්වා දුන්නා.
මෙහි අධ්‍යක්ෂවරිය හා කළමණාකාරවරිය සුඛෝපභෝගී දිවිපෙවතක් ගෙවා ඇති අතර මුදල් වංචා මගින් ලැබෙන මුදල්වලට කුමක් සිදුකරන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවද විමර්ශකයන් ප්‍රකාශ කළා.
මොවුන් දෙදෙනා විසින් සංවිධානාත්මකව තවත් මෙවැනිම ආයතන තුනක් පවත්වාගෙන යන අතර ඊයේ දිනයේදී මෙම ස්ථානය වැටලීමත් සමග අනෙක් ආයතන සියල්ලේ උපාංගද ඉවත් කර වසා දැමීමට කටයුතු කර එහි සේවකයන්ට ද සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී ඇති බවද විමර්ශකයන් ප්‍රකාශ කළා.
සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙහි සිටින ඇතැම් සේවකයන් මේවන තෙක් සිය පළමු වැටුපවත් ලබාගෙන නොමැති නවකයන් බවත් බහුතරයක් දෙනා වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන් බවත් සලකා ඇප ලබාදෙන ලෙසයි.
සියලු කරුණු සලකා බැලූ අධිකරණය අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරිය හා කළමනාකරු එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස නියෝග කළේය.
සෙසු පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියෝග කර තිබෙනවා.