සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ, බොරැල්ලේ මල්ශාලාවට තමන් කංජිපානි ඉම්රාන් බව අඟවමින් ඊයේ (10) රාත්රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.
එහිදී ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙස එම තැනැත්තා තර්ජනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එලෙස කළහොත් මෘත ශරීරයට මෙන්ම මල්ශාලාවට ද වෙඩි තබන බවට අදාළ පුද්ගලයා තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ් අනුව මල්ශාලාවේ කළමනාකරු අද (11) පෙරවරුවේ මේ පිළිබඳව බොරැල්ල පොලීසියට පැමිණිලි කර ඇති අතර බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ, විදෙස් රටකින් අදාළ දුරකතන ඇමතුම ලැබී ඇති බවයි.
අනතුරුව එම මල්ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යොදවා තිබෙනවා.
ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.