
සංශෝධිත කොමිස් අනුපාත පිළිබඳ ආරවුල විසඳෙන තුරු රෝහල් ඇතුළු රජයේ ආයතනවලට ණය පදනම මත ඉන්ධන නිකුත් කිරීම නතර කිරීමට ඉන්ධන බෙදාහරින්නන් ඊයේ තීරණය කළ අතර ඊට සමාගාමීව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් නිර්මාණය වී තිබුණා.
ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, සංගමය ගත් තීරණයට අනුකූලව ඉන්ධන බෙදාහරින්නන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ රාජ්‍ය ආයතනවලට ණයට ඉන්ධන විකිණීම නතර කළ බවයි.
ඉන්ධන බෙදාහරින්නන්, ඉන්ධන සඳහා නව ඇණවුම් ලබාදීම නැවැත්වීමත් සමඟ මෙම පියවර ගත් අතර, සඳුදා වන විට ඉන්ධන හිඟය වඩාත් උග්‍ර වනු ඇතැයි යන බිය මතුවී තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අඟහරුවාදා රැස්වීමකට ඔවුන්ට ආරාධනා කර ඇති බව කුසුම් සන්දනායක පවසනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි නව ඉන්ධන මිල සූත්‍රය යටතේ ඉන්ධන බෙදාහරින්නන්ට ලබා දෙන 3% ක කොමිස් මුදල 1.7% කට ආසන්න ප්‍රමාණයකට අඩු කිරීමෙන් පසුව මෙම ආරවුල ඇති වුණා.
නව සූත්‍රය යටතේ ඔවුන්ගේ ලාභය සියයට 43 කට වඩා අඩු කර ඇති බව බෙදාහරින්නෝ කියා සිටියා.
කෙසේවෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, බෙදාහරින්නන් සූත්‍රය නිවැරදිව තේරුම් ගෙන නොමැති බවයි.
කොමිස් ගෙවීම් අඩුකිරීමට විරෝධය පළකරමින් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය නව ඉන්ධන ඇණවුම් අත්හිටුවන බව නිවේදනය කළ සිකුරාදා රාත්‍රියේ සිට කොළඹ සහ අනෙකුත් පිට පළාත්වල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා.
විරෝධතාවයේ නිරත බෙදාහරින්නන් පවසන්නේ, තම තීරණයට LIOC, Sinopec සහ R.M. Park යන විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් මගින් සහාය ලැබුණු බවයි. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා.
ඉන්ධන පිරවුම්හල් හිමියන් සීමිත සංඛ්‍යාවක් පමණක් විරෝධතාවයට එක්ව ඇති බව තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
රජයේ සහ සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන ඇති බවට ඔහු සහතික වුණා.
මුළු වසරටම ප්‍රමාණවත් ඉන්ධන රජය සතුව ඇති බවත්, ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි බවත් ඔහු අවධාරණය කළා.
“කිසියම් පාර්ශවයක් රට අවුල් කරන ක්‍රියාකාරකම්වල නිරත වෙනවා නම්, මහජන පහසුව සහතික කිරීම සඳහා රජය ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට වෙන්නේ නැහැ” යැයි සභාපතිවරයා සඳහන් කළා.
අවම වශයෙන් ලෝඩ් 15ක් (ඉන්ධන ලීටර් 99000ක්) අලෙවි කරන පිරවුම්හලකින් මසකට රු. 62,333ක් පමණක් උපයා ගත හැකි බවට බෙදුම්කරුවන් කරන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරයි.
ඒ වෙනුවට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගණනය කිරීම්වලට අනුව, ඉන්ධන ලීටර් 99000ක් අලෙවි කරන ඉන්ධන පිරවුම්හලකින් නව සූත්‍රය යටතේ අවම වශයෙන් රු. 683,415ක් උපයාගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.
2022 දී, විගණකාධිපතිවරයා ඇස්තමේන්තු කර ඇත්තේ,2022 ජූලි 17 වැනිදා වන විට තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරුවන්ගේ කොමිස් මුදල් වශයෙන් රුපියල් බිලියන 4.349ක් වැඩිපුර ගෙවා ඇති බවත්, එය අයකරගෙන නොමැති බවත්ය.
කෙසේවෙතත් අලෙවිකරුවෝ පසුගිය සතියේ අවධාරණය කළේ 3% කොමිස් මුදල ආදායමක් නොවන බවයි.
සභාපතිවරයා පෙන්වාදෙන්නේ, අතීතයේ දේශපාලන අනුග්‍රහයෙන් ප්‍රයෝජන ගනිමින් සහ ඒවා පිහිටා ඇති ස්ථානය දැන ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැතිව, සමහරුන් ලෝඩ් 15ක් විකුණන පිරවුම්හල් පවා විවෘත කර ඇති බවයි. “හැමතැනම ෂෙඩ් විවෘත කළාම අලෙවියක් සිද්ධ වෙන්නේ නෑ”
මාසයකට ලෝඩ් 15ක් විකුණන පිරවුම්හලක් “දුර්වල පිරවුම්හලක්” බව ඔහු කියා සිටියා.
ලෝඩ් 15ක් සහ 30, 60, 90 සහ 120 වශයෙන් පිරවුම් පිරවුම්හල් කාණ්ඩ පහක් ඇති බව ඔහු පැහැදිලි කළා.
ඉන්ධන පිරවුම්හල් ක්‍රමානුකූලව ස්ථානගත කිරීම සඳහා සිතියමක් සම්පාදනය කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා ඇති බව ඔහු කියා සිටියා.
කිලෝමීටර් 15ක අරයක් තුළ ක්‍රියාත්මක වන වෙනත් පිරවුම්හලක් නොමැති නව පිරවුම්හලකට රු. 100,000 ඉක්මවන දිරි දීමනාවක් ද ලබාදෙන බව ඔහු සඳහන් කළා.
ලෝඩ් 30ක් විකුණන අලෙවිකරුවකුට රු. මිලියන 1.3කට වඩා උපයා ගත හැකි බවත්, සියලු වියදම් හැර, එවැනි අලෙවිකරුවකුට රු. 300,000 ඉක්මවන ශුද්ධ ලාභයක් උපයාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
ලෝඩ් 60ක් විකුණන පිරවුම්හලකින් අවම වශයෙන් රුපියල් මිලියන 2.3 කට වඩා උපයා ගත හැකි බවත්, එහිදී ශුද්ධ ලාභය රුපියල් 750,000 කට වඩා වැඩි වනු ඇති බවත් ඔහු සඳහන් කළා.
ලෝඩ් 90 ක් විකුණන පිරවුම්හලකට රුපියල් මිලියන 3.2 කට වඩා උපයා ගත හැකි අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 1.2 ඉක්මවනු ඇත.
ලෝඩ් 120 ක් විකුණන අලෙවිකරුවකුට රුපියල් මිලියන 4.1 කට වඩා උපයාගත හැකි අතර, බදු ඇතුළුව වියදම් ලෙස රුපියල් මිලියන 3.8 ක් අඩු කළහොත් ශුද්ධ ලාභය රුපියල් මිලියන 1.6 ඉක්මවනු ඇත.
කෙසේවෙතත් අලෙවිකරුවන් පවසන්නේ, ලෝඩ් 15 ක් විකුණන පිරවුම්හලකින් රුපියල් මිලියන 1.1 ක් හෝ රුපියල් 900,000 ක් උපයා ගත හැකි බවයි.
එහිදී වියදම් හැර, මේ මොහොතේ ආදායම රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා වේ. ඔවුන් පවසන්නේ මෙය දැන් රුපියල් 62,500 දක්වා අඩුකර ඇති බවයි.
සංශෝධිත නව කොමිස් ප්‍රතිශතයට විරුද්ධ වන අලෙවිකරුවන් නිවේදනය කර ඇත්තේ, ෂෙඩ් ක්‍රියාකරුවන් 1,400 ක් විකුණුම් තාවකාලිකව නැවැත්වීමේ තීරණයට සහාය දක්වන බවයි.
සෙනසුරාදා සඳහා ඉන්ධන සිකුරාදා උදේ 8 වන විට ගෙවා ඇණවුම් කර ඇති අතර, හෙට වන විට ඉන්ධන හිඟයක් අපේක්ෂා කරන බවත් ඔවුහු පවසති.
මේ අතර අලෙවි නියෝජිත කොමිස් මුදල් නිසා ශ්‍රී ලාංකික ජනතාවට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවී ඇති බව විගණනයකින් හෙළිව තිබෙනවා.
2022 දී, අලෙවි නියෝජිත කොමිස් මුදලේ ඉහළ සීමාව ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරිවැය ලීටරයකට රුපියල් 10 කින් වැඩි වී ඇති බව ජාතික විගණකවරයා තීරණය කළා.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 මිල පිළිවෙලින් රුපියල් 8.64 කින් සහ රුපියල් 11.10 කින් ඉහළ ගොස් ඇති අතර, ලංකා ඔටෝ ඩීසල් සහ ලංකා සුපර් ඩීසල් මිල පිළිවෙලින් රුපියල් 9.27 කින් සහ රුපියල් 10.95 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ වගකීමට යටත් ඉන්ධන පිරවුම්හල්වලින් බහුතරයක හිමිකාරිත්වය වක්‍රාකාරයෙන් දරන්නේ දේශපාලකයන් බව ප්‍රසිද්ධ රහසක්.