
රිලවුන් වඳුරන් මොණරුන් හා දඬුලේනුන් එකවර සංගණනය කිරීමට මෙවර සිදු කරන සංගණනයේදී බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය පවසනවා.
මෙහිදී වනාන්තරවල සිටින සතුන් ගණනය කිරීමක් බලාපොරොත්තු නොවන බවත් ජනතාවන් නිවැරදි තොරතුරු ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කළා.
තම පරිශ්‍රයේ සිටින සතුන් විනාඩි පහක් ඇතුළත ගණන් කලාම ද්වි ගණනයක් සිදු නොවනු ඇති බවද ඇය කියා සිටියා.
සිංහල අවුරුද්දට එක් වෙලාවට සියළු දෙනා කෑම උයනවා මෙන් සතුන් ගණන් කිරීම කළ හැකි බවද ඇය තවදුරටත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක්ද මෙහි දැක්වෙනවා.
බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වනසතුන් ලෙස අලි ඇතුන්, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් හඳුනාගෙන ඇති අතර වනජීවී-මිනිස් ගැටුම් හා පුළුල් දේපළ විනාශයන්ට ද තුඩු දෙන මෙම ගැටලු විසඳීම සඳහා කෘෂිකාර්මික බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංගණනය මඟින් බෝග වගාව සඳහා හානි පමුණුවන වනජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වන අතර වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව ගණන් ගැනීම අපේක්ෂා කෙරේ.
මෙය ශ්‍රී ලංකාවේ ඉහළ ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් බලපෑමට ලක් වූ ප්‍රජාවට සහාය වීම හා කළමනාකරණය සඳහා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති තීරණ සහ ඉලක්කගත මැදිහත්වීම් සඳහා පදනමක් ලෙස යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
ක්‍රියාත්මක ක්‍රමවේදය සංගණනය 2025 මාර්තු 15 සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්කර ඇත.
එදින උදෑසන 8.00-8.05 අතර කාල සීමාව තුළ තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්‍යභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ තමාට අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතුය.
මෙම සංගණනය ග්‍රාම නිලධාරි වසම් පාදක කරගෙන පැවැත්වෙන බැවින් ග්‍රාම නිලධාරිවරයාගේ මුලිකත්වයෙන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලැබේ.
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීම සහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇත.
සටහන් කරනු ලබන සංගණන පත්‍රිකාව, අදාළ ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත භාරදීම ප්‍රජාව සතු වගකීම වේ.
තම ග්‍රාම නිලධාරි වසම තුළ ඇති පාසල්, පුණ්‍ය භූමි, විශ්ව විද්‍යාල හා රෝහල් වැනි වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන පවතී නම් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අදාල ග්‍රාම නිළධාරීන් විසින් සකස් කරගනු ඇත.
විශාල ප්‍රමාණයේ වගාවන් පවතී නම් එම වගා බිම් වල තොරතුරු ලබා ගැනීම තනි පුද්ගලයෙකුට කළ නොහැකි බැවින් වගාවන් කළමනාකරණය කරන නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා එම ආයතනයේ පිරිසක් යොදවා ගැනීමට ග්‍රාම නිළධාරී විසින් සැලසුම් කරගනු ඇත.
අයිතිකරුවන් පදිංචිව නොමැති ඉඩම් හෝ පරිශ්‍ර පවතීනම් එම ඉඩම් හෝ පරිශ්‍ර වල සංගණන තොරතුරු ලබා ගැනීම සඳහා එම ඉඩම් හෝ පරිශ්‍ර වලට යාබඳව වෙසෙන පුද්ගලයන් යොදා ගැනීම සුදුසු වේ.
මේ සඳහා ජාතික වශයෙන් මුද්‍රිත හා විද්‍යුත් හා සමාජ මාධ්‍ය යොදාගෙන ද ප්‍රචාරණ කටයුතු සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි