
වාහන ආනයනයේ දී මෙම වසර තුළ කිසිදු බදු සංශෝධනයක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇති බවයි.
ඊයේ (24) රාත්‍රී ටීවි දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මේ බව සඳහන් කළා.
ප්රශ්නය – අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන අපි මේ වසර තුළ ආනයනය කරයි කියලා පුරෝකථනයක් තියෙනවා කියලා තමයි අපි හිතුවේ. ඒ හරහා බලාපොරොත්තු වන රුපියල් ආදායම එතකොට කොපමණක් ද?
“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා. යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”
මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමට සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද එහිදී දුමින්ද හුලංගමුව මහතා අදහස් පළ කළේය.
ප්රශ්නය – මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් දුමින්ද හුලංගමුව ද ?
“ඒක ජනාධිපතිතුමා තීරණය කරයි.”
ප්රශ්නය – ඔබ හා ජනාධිපතිවරයා අතර හෝ ඔබ හා මුදල් අමාත්‍යාංශය අතර යම්කිසි සාකච්ඡාවක් නැද්ද ඔබ මේ තනතුරට සුදුස්සෙක් කියන සාකච්ඡාව නැද්ද ?
“එහෙම සාකච්ඡාවක් මම දන්න තරමින් නෑ. ඒක ඉතින් ජනාධිපතිතුමාගේ සහ රජයේ තීරණය තමා.”
ප්රශ්නය – යම් හෙයකින් ඔබට ලේකම් ධුරය භාරගන්න කියලා, ජනාධිපතිවරයා ආරාධනා කළොත් ඔබ EY එක අතහැරලා ලේකම් ධුරය භාරගන්න සුදානම් ද ?
“ඒක ටිකක් හිතලා බලන්න ඕනේ. EY එක මම අවුරුදු 4ක් හිටිය ආයතනයක්. එතැනත් යම්කිසි බලාපොරොත්තු තියෙනවා. EY එකෙත් එකක් එනවා මේ අවුරුද්ද ඇතුළත. ඒ නිසා යම් බැඳීමක් එතැනත් තියෙනවා. මේ ඔක්කෝම සලකලා බලලා තමා තීරණයක් ගන්න වෙන්නේ.”
සාකච්ඡාවක් තියෙනවා කියන්න බෑ කිව්වොත් හරිද ?
“ඔව් සාකච්ඡා ඇතුළෙන් යනවා. බලමු මොකද වෙන්නේ කියලා.”