
දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටියදී තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා නමැති හස්තියා යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බව තායිලන්ත රජය නිවේදනය කර තිබෙනවා.
එම හස්තියා මෙරටින් තායිලන්තයට රැගෙන ගියේ 2023 වසරේදීයි.
එහිදී තායි බලධාරීන් පැවසුවේ තුවාල ලබා සිටි හස්තියාට ප්‍රතිකාර ලබාදී නැවත මෙරටට එවන බවයි.
කෙසේවෙතත් ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් සහ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසන්නේ, මේ වනවිට එම හස්තියා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.
එහෙත් මුතුරාජා ශ්‍රී ලංකාවට ආපසු ලබානොදීමට රජු තීරණය කර ඇතැයි තායි රජය නිවේදනය කර තිබෙනවා.
තායිලන්තයට රැගෙන යාමට පෙර මුතුරාජා හස්තියා මාස හතරක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රතිකාර ලබා ඇති අතර එම කාලය තුළ හස්තියාගේ ශරීරයේ තිබූ තුවාල සුවවෙමින් පැවති බව පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසනවා.
වසර 12ක පමණ කාලයක් අලුත්ගම කන්දේ විහාරය භාරයේ සිටි මෙම හස්තියා ප්‍රතිකාර සඳහා දෙහිවල සත්වෝද්‍යානයට මාරුකිරීමට පෙර දැඩි ලෙස වධහිංසාවලට ලක්ව ඇති බව වාර්තා වුණා.
ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මුතුරාජාගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා තායිලන්ත රජය රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැයකිරීමට නියමිත බවයි.
තායිලන්තයට රැගෙන යාමෙන් පසු හස්තියාගේ ඉදිරි පාදයට ජල චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට පළමුව සැලසුම් කර තිබිණා.
මුතුරාජා තායිලන්තයට රැගෙන යාමෙන් පසුව, තායිලන්ත රජය මීට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අනෙකුත් තායි අලි ඇතුන් පිළිබඳව ද සොයාබැලූ බව වාර්තා වනවා.
2001 දී තායි රජය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද මුතුරාජා 2023 ජූලි 2 වන දින නැවත තායිලන්තයට ගෙන ගියා.