
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 6 වැනිදා පෞද්ගලික එම්බ්‍රේර් ලෙගසි 600 ජෙට් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීම අද පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයකට හේතු වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම ගුවන් ගමනට මුදල් සැපයුවේ කවුදැයි පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා.
මෙම ප්රශ්නය ප්රමුඛ කරගෙන, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් විමසූයේ, ජනාධිපතිවරයාගේ ගමන සඳහා වියට්නාම රජය වියදම් කළේද යන්නයි.
ඒකට පිළිතුරු ලෙස, අමාත්‍ය හේරත් මහතා පවසා සිටියේ ගමන සඳහා වියට්නාම රජය කිසිදු මුදලක් ගෙවා නොමැති බවත්, එම වියදම දැරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ වියට්නාම බෞද්ධ සංගමයක් බවත්ය.
එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මුලදී එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ලැබුණු ආරාධනයක් ප්‍රතික්ෂේප කළ බවද විජිත හේරත් මහතා පවසා සිටිනවා.
එය, පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහුට තිබූ වගකීම් හේතුවෙන්.
කෙසේ වෙතත්, වියට්නාම බෞද්ධ සංගමය ගුවන් ගමන් පහසුකම් සැපයූ පසුව, ජනාධිපතිවරයා උත්සවයට සහභාගී වීමට එකඟ වූ බවද සඳහන් වුණා.
අමාත්‍ය හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම ගමන සඳහා ශ්‍රී ලංකා මහජන අරමුදල් කිසිවක් භාවිතා නොකළ බවත්, එය ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධීකරණය කර එක්සත් ජාතීන්ගේ අනුබද්ධ වියට්නාම බෞද්ධ කමිටුව හරහා සංවිධානය කළ බවත්ය.