
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළා.
අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලැබුවා.
1963 වසරේ ‘නොරත රථ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බාබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණා.
අනතුරුව ගතවූ දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්රයට දායාද කිරීමට මාලිනි ෆොන්සේකා මහත්මිය සමත් වුණා.
නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු විත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වුණා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංග කුසලතා හේතුවෙන් අවස්ථා ගණනාවක දී ඇය දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලැබුවා.
මේ අතර මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය කියා සිටියා.
ඒ අනුව අවමංගල්‍ය පෙරහැර හා උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදුනොකරන අතර අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමේදී විනාඩි 15 ක පමණ කාලයක් සඳහා නිදහස් වටරවුම සිට නිදහස් මාවතට ඇතුළුවන රථවාහන සීමා කිරීමට නියමිත බව සඳහන් වනවා.
අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ අවට පිහිටා ඇති නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා.