පුද්ගලයන් 61 දෙනෙකුට දිවි අහිමි කරමින් බ්‍රසීලයේදී ගුවන් යානයක් අනතුරට ලක් වුණා.
මේ අතර එම ගුවන් යානය මඟහැරුණු මගීන් දෙදෙනෙකුගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තාවන්ට අනුව එක් අයෙකු ගුවන් යානයට ගොඩවීමට බලා සිටියද, ඔහුට කැඳවීමක් ලැබී නැහැ.. ඒ සම්බන්ධයෙන් ඔහු ගුවන්තොටුපොළ නිලධාරීන් සමග වාද කර ඇති බවද සඳහන්.
ගුවන් යානය මඟහැරුණු එක් මඟියෙකු වන ජෝසේ ෆිලීපි,
“මම ගොඩාක් වෙලා බලන් සිටියත් මට කැඳවීමක් ලැබුණේ නැහැ. මම ඒ ගැන විමසූවිට යානයට මගීන් නංවාගැනීම අවසන් බව මට පැවසුවා. මම ඒ ගැන ගුවන්තොටුපොළ නිලධාරීන් සමග වාද කළා. මම එක් අයෙක්ව තල්ලු කළා. අනතුර ගැන දැනගත්තාට පස්සේ මගේ කකුල් වෙව්ලන්න ගත්තා. මට ඒ ගැන කියන්න වචන නැහැ” යනුවෙන් ඔහු සඳහන් කළා.
යානය කඩා වැටීමට පෙර එය වට කිහිපයක් උඩු ගුවනේ කැරකී යන අයුරු විඩියෝ දර්ශන අනුව පෙනී ගියත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
එමෙන්ම යානය කඩා වැටීමට පෙර දිනයේදී යානයේ තත්ත්වය පරීක්ෂා කර ඇති අතර ඉන් කිසිදු තාක්ෂණික දෝෂයක් පිළිබඳව අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.
යානය අනතුරට ලක්වන අවස්ථාවට පෙර හදිසි තත්ත්වයක් පිළිබඳව හෝ දැනුම්දීමක් ද නොලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ දී සිදු වූ මෙම ගුවන් අනතුරෙන් 61 දෙනෙකුට දිවි අහිමි වුණා.
මෙය 2007 වසරෙන් පසුව බ්‍රසීලයෙන් වාර්තා වූ දරුණුතම ගුවන්යානා අනතුර ලෙස සැලකෙනවා.