මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි හා 63 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
ඔවුන් මොනරාගල හා කහන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙනවා.
ඒ අනුව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මාලබේ පොලීසිය අදාළ නිවස ඊයේ (14) පුළුල් පරීක්ෂාවට ලක්කර තිබුණා.
රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රණය කිරීමට යෑමේදී ඇතිවූ විෂ දුමක් හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට ශ්වසන අපහසුතා ඇති වී තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
එම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැක කරන අතර මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය මතුවී ඇතැයි පොලීසිය සැක කරනවා.
ඒ අනුව මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගැනීම සඳහා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ රසායනික ද්‍රව්‍යයේ සාම්පල රැගෙන ගොස් තිබෙනවා.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ඇත්තේ ඒවා භාවිත කර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහායි.
එහිදී අනාවරණ වී ඇත්තේ, එම රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් හා අන්තරයකාර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද අදාළ නිවස අද දිනයේදී පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිවසේ හිමිකරුගේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක් ද පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර පසුව පොලීසිය අදාළ නිවෙස් දෙකම මුද්‍රා තැබීමට පියවර ගත්තා.
මියගිය පුද්ගලයන් මෙම රසායනික ද්‍රව්‍ය රැගෙන අවේ කුමණ ස්ථානයක සිට දැයි යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක් මෑතක සිට විශාල වශයෙන් මුදල් උපයා ඇතැයි ද තොරතුරු වාර්තාවී තිබෙනවා.