ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිෂන් කාර්යාලයේදී අද (15) අපේක්ෂකයින්ව දැනුම්වත් කෙරුණා.
ඒ අනුව මෙකී නිතීවිරෝධී ක්‍රියා, වැරදි, දූෂණ ක්‍රියා සිදුකිරීම, විධාන උල්ලංඝනය කිරීම පිළිබඳ දඬුවම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා ඇතැයි ද මෙහි ඇතැම් වැරදි සඳහා දඬුවම තේරි පත්වීම අහිමි වීම සහ ප්‍රජා අයිතිය අහිමි වීම බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.
ඒ අනුව එකී කරුණු පහත පරිදි වෙයි,
අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ වූ පනතේ 74 වන වගන්තිය යටතේ නාමයෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන දින තෙක් අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම නොකළ යුතු වෙයි.
සියලුම අපේක්ෂකයින්ගේ අවධානය මේ සම්බන්ධව යොමුකර ඇති අතර මේ සඳහා වූ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත අදාළ උපදෙස් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ.
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්රචාරක දැන්වීම් හෝ වෙනත් ප්රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු, ධජ හා පතාක යනාදිය ප්‍රචාරණය කළ හැක්කේ රැස්වීමක් පවත්වන දිනයක දී එම ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීමකට යටත්ව පමණයි.
ශබ්ද විකාශන භාවිතය
මැතිවරණය සඳහා වූ කාලය තුළදී අපේක්ෂකයින් සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි අතර, එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැක්කේ පොලීසියේ නිසි අවසරය මත පමණයි.
අල්ලස් හෝ දූෂණ ක්‍රියා සහ බලපෑම්
යම්කිසි අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට යම් යම් දෑ ලබාදීම අල්ලස් ලබා දීමක් සේ සැලකෙනවා.
ඒ අනුව, ඡන්දය ලබාගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබා දීම්, අයුතු බලපෑම් දූෂණ ක්‍රියාවන් සේ සලකනවා.
තවද ආගමික වැඩසටහන් හෝ පූජනීය ස්ථානවල පැවැත්වෙන වැඩසටහන් හරහා පක්ෂ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය. එකී ප්රවර්ධනයන් අයුතු බලපෑම් යටතට පත්වෙනවා.
රාජ්‍ය සේවා ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය දේපොළ භාවිතය
මැතිවරණ කාලසීමාව තුළදී රජයේ අමාත්‍යංශ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා, බැංකු, මණ්ඩල ආදී ව්‍යවස්ථාපීත ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ද රාජ්‍ය ආයතන සේ සැලකෙනවා.
මෙකී රාජ්‍ය ආයතනවල දේපොළ ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම අගතියට පත් කිරීම සඳහා භාවිත කිරීම සපුරා තහනම් වේ.
එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකි වනවා.
තවද දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාවන් තුළ දේශපාලන කටයුතු වල නිරත විය නොහැකියි.
සෑම රජයේ නිලධාරියෙකු මෙන්ම සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජූලි 26 දිනැතිව නිකුත් කරන ලද 23 94/56 දරණ ගැසට් පත්‍රය මගින් නිකුත් කර තිබෙන විධානවලට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිසම පවසනවා.
මෙම විධාන සියලුම රජයේ නිලධාරීන් පිළිපැදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපි, ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් පසු කාලය
ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් වේ.
මෙවැනි නීති විරෝධි පෙළපාලි පැවැත්වීමේ දී එවැනි අවස්ථා වීඩියෝ ගතකර අධිකරණයට වාර්තා කිරීමට ද පොලීසිය ක්‍රියාකිරීමට ඉඩ ඇති බව සඳහන්.