ස්පාඤ්ඤයේ Pontevedra නුවර පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ ඊයේ (06) පැවැති කාන්තා කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා.
මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙනවා.
එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙනවා.
නෙත්මි සිය ලෝඩක පදකක්ම වෙනුවෙන් වූ තීරණාත්මක තරගයේදී රුසියානු ක්‍රීඩිකාව තරග වට 3-1(6-2) ලෙස පහසුවෙන් පරාජය කළා.
තරගාවලිය ආරම්භ කරමින් ඇය සහභාගි වූ මූලික තරගයෙන් කසක්ස්තාන ක්‍රීඩිකාව තරග වට 4-0 (10-0) ලෙස පහසුවෙන් පරාජය අතර, මුහුණ දුන් දෙවැනි තරගයෙන් බල්ගේරියානු ක්‍රීඩිකාව ද තරග වට 4-0 (10-0)ක් ලෙස පරාජය කළා.
එමෙන්ම ඇය අර්ධ අවසන් පූර්ව වටයේදී හංගේරියානු ක්‍රීඩිකාවක් සමග තරග වැදුණු අතර, එම තරගයෙන්ද ඇය තරග වට 4-1ක පහසු ජයක් ලැබුවා.
කෙසේ නමුත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගයේදී ඇය චීන ක්‍රීඩිකාවක් හමුවේ තරග වට 5-0ක් ලෙස පරාජය වුණා.
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ඉසව් රැසකදීම නෙත්මි මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා තිබෙනවා.
නෙත්මිගේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා කටයුතු කරනවා.
මෙම තරගාවලියට නෙත්මිට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුනි වාසනා සහභාගී වූ අතර, ඇය කි.ග්රෑ. 50 බර පන්තියෙන් තරග වැදුණා. කෙසේ නමුත් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් සමග කරට කර සටනක් දුන්න ද ඇයට පදක්කමක් දිනාගැනීමට නොහැකි වුණා.