මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය අද (07) පස්වරුවේ පැවැත්වුණා.
සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණයි.
”රට ගොඩනගන්නේ කෙසේද” යන මැයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සඳහා මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සජීවී විවාදයේ පළමු දිනය අද පස්වරු 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද දිනයේදී විවාදයට සහභාගි වන බවට දැනුම් දී තිබුණා.
විවාදයේ අරමුණ, ජනාධිපති ධුර අපේක්ෂකයින්ට තම අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීම සහ ජනතාවට සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීම පහසු කිරීමයි.
නමුත් විවාදය ආරම්භ කිරීමට නියමිතව තිබු අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වීමට පැමිණ සිටියේ සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණයි.
කෙසේ වෙතත් අනෙකුත් ජනාධිපති ධුර අපේක්ෂකයින් පැමිණෙන තෙක් ප්‍රමාද කළ විවාදය, සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට මිනිත්තු 40කට පසු, එනම් පස්වරු 3.40ට ආරම්භ වුණා.
එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ මෙවැනි විවාදයකට පැමිණිමම තමන්ට ඡන්දය ලබා දීම ප්‍රමාණවත් වන බවයි.
“උපායමාර්ගික වැඩපිවෙළක් තියෙනවා, උපායමාර්ගික වැඩපිළිවෙළ නියෝජනය කරන පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා. ඔහුගේ මූණත් වෙනස්, හැසිරීමත් වෙනස්, කතාබහත් වෙනස්, ඔහුගේ වැඩපිළිවෙළත් වෙනස්, ඔහු කොච්චර වෙනස්ද කිව්වොත් මේ වගේ විවාදයකට එන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.”