ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්රානී සිනමා ශාලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසනවා.
ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමේ ආරක්ෂාව සඳහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරීන් කැඳවා තිබෙනවා.
එම රැස්වීම පැවැත්වෙන අතරතුරදී ඌවපරණගම ප්රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එහි සිටි අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස් රත්නායක මහතා පවසනවා.
තම දෙමාපියන් එම රැස්වීම් ශාලාවේ සිටීම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දීමට මෙසේ රැස්වීම් ශාලාවට පැමිණි බවට පැවසූ බවත් වැලිමඩ පොලිසිය පවසනවා.