වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීම තුළින් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීම තුළන් සමාගම් අපහසුතාවයට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළා.
වතු සමාගම් 21 විසින් ගොනුකොට ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති අතර පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරුණා.