මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට පවසමින් ඊට අදාළ පළමු නඩුව නාමල් රාජපක්ෂ වෙත යොමු වී තිබෙනවා.
ඒ අගෝස්තු මස 21 වනදා ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන අංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් අනුරාධපුර පැවැති රැස්වීමේ ප්රචාරක කටයුතු සදහා යොදවා ඇති බවට චෝදනාවක් මතයි.
ඊට අදාළ විමර්ශනය අනුව කොල්ලුපිටිය පොලිසිය 27 වනදා කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයකට අදාළ බී වාර්තාව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය එම රථයේ රියදුරාගේ දුරකතන වාර්තා ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්රාත්වරිය අවසර ලබා දී තිබෙනවා.
එම වාහනය නඩත්තු කටයුතු සදහා ගරාජයට යොමු කරන බව කියමින් සහ ඉන් අනතුරුව හොරොව්පතාන තම නිවසේ දානයක් ඇති බව කියමින් එහි යන බව දන්වා දෙදිනක නිවාඩු ලබා රියදුරු පිටතට ගොස් ඇති බවත් ඔහු එම රථය නාමල් රාජපක්ෂ මහතාගේ අගෝස්තු මස 21 අනුරාධපුර පැවැති රැස්වීමේ ප්රචාරක කටයුතු සදහා යොදවා ඇති බව වාර්තා වී ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
මෙලෙස නියෝග ඉල්ලා සිටියේ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් මොන්ටෙරෝ ජිප් රථයක් සම්බන්ධයෙන්.