බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීයාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (19) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලට හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබුණා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපලේ හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කළ අතර මගීන් සියලු දෙනා යානයෙන් කඩිනමින් ඉවත් කොට යානයේ විශේෂ පරීක්ෂාවක් සිදු කළා.
කෙසේ වෙතත් එහිදී කිසිදු සැකකටයුතු යමක් හමු වී නැහැ.
ඉන්දියාවේ මුම්බායි සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසරකරමින් තිබූ ඉන්දීය විස්තාරා ගුවන් සේවයට අයත් යූ.කේ 131 දරණ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපල වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබුණේ අද පස්වරුවේයි.
ඒ ගුවන් යානයේ බෝම්බ බියක් පිළිබඳව ගුවන් නියමුවාට ලැබුණු අවිනිශ්චිත දැනුම්දීමක් හේතුවෙන්.
ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට විනාඩි 10කට පෙර එම ඇමතුම ලැබී තිබූ අතර ගුවන් නියමුවා ඒ බව මෙරට ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේ ඒ අනුවයි.
ඊයේ (19) පස්වරු 2.49 ට විස්තාරා ගුවන් සේවයට අයත් යූ.කේ 131 දරණ ගුවන් යානය කටුණායක ගවන්තොටුපලට ගොඩබැස්වූ අතර මගීන් 96 ක් හා ගුවන් කාර්ය මණ්ඩලයේ 08 දෙනෙක් එහි සිට තිබෙනවා.
එම සියලු මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබු අතර ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකා සෙබලුන්, ගුවන්තොටුපළ ආරක්ෂක අංශ ඇතුලු සියලු අංශ ගුවන් යනය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළා.
පසුව කටුනායක ගුවන්තොටුපල කළමණාකාරීත්වය නිවේදනය කළේ ගුවන් යානයේ කිසිදු බෝම්බ බියක් නොමැති බවයි
මෙම සිද්ධිය වාර්තාවූයේ අද දිනය තුළ පමණක් ඉන්දියානු ගුවන් සමාගම්වල ගුවන් ගමන් 20කට අධික ප්‍රමාණයකට බෝම්බ තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පසුබිමකයි.
විස්තාරා ගුවන් සේවයට අයත් තවත් යානයක් ඊයේ රාත්‍රියේත් ඉන්දියාවේ දිල්ලි සිට ලන්ඩන් බලා පියාසර කිරමින් තිබියදී බෝම්බ බියක් හේතුවෙන් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
එමෙන්ම ඉන්දියානු ගුවන් සමාගම් වන එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, ආකාසා එයාර්, විස්තාරා, ස්පයිස් ජෙට්, ස්ටාර් එයාර්, සහ එලායන්ස් එයාර් යන ගුවන් සමාගම්වල ගුවන් ගමන් වලටද අවස්ථා රැසකදීම බෝම්බ බිය මතුවුණා.
ඩුබායි සිට ඉන්දියාවේ ජායිපූර් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්ද බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වා තිබූ අතර මුම්බායි සිට ඉස්තාන්බුල් හා දිල්ලි සිට ඉස්තාන්බුල් බලා පියාසර කරමින් තිබූ ගුවන්යානා දෙකක්ද හදිසියේ ගොඩබස්වා තිබුණේ බෝම්බ බිය හේතුවෙන්.
ඊට අමතරව ජෝද්පූර් සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ තවත් ගුවන් යානයක්ද හදිසියේ ගොඩබැස්වීමට කටයුතු කර තිබුණා.
මෙම සතිය තුළ පමණක් ඉන්දීය ගුවන් යානා 70කට අධික ප්‍රමාණයකට මෙලෙස බෝම්බ බිය මතුව තිබූ අතර ඒ කිසිදු අවස්ථාවකදි සැකකටයුතු කිසිවක් හමුවි නැහැ.
ඉන්දියානු ගුවන් සේවා මාධ්‍ය ප්‍රකාශකවරයා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය සතිය තුළ සමාජ මාධ්‍ය හරහා ඉන්දිය ගුවන් ගමන් සම්බන්ධයෙන් බෝම්බ තර්ජන පිළිබඳ තොරතුරු සංසරණය වුවද එවා කවුරුන් විසින් මෙහෙයවන්නේ ද යන්න තවමත් තහවුරු වී නොමැති බවයි.