වත්මන් ආණ්ඩුවට නඩු දෙකක් දාන්න සුදානම් වු නමුත් තමා එය වැළැක් වු බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) මාතර පැවැති ජනහමුවක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව සුළුතර අගමැතිවරියක් පත් කිරීම මෙන්ම මැතිවරණ දිනය සම්බන්ධයෙන් නඩු පැවරීමට ගිය බවත් නීතිඥවරුන් ඉදිරිපත් වීමට සුදානම් වු නමුත් තමා එය වැළැක්වූ බවයි.
එමෙන්ම තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්රකාශයක් කළ යුතු බව ඔහු මෙහිදී කියා සිටියා.
රජයේ සේවකයන්ගේ ඡන්දයෙන් ජනපති වූ අනුර ලබා දුන් පොරොන්දු එකක්වත් ඉටු කර නැතැයි කී හිටපු ජනාධිපතිවරයා ඔහුට යළි ඡන්දයක් ඉල්ලන්නට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර සිටියා.
හොඳ මහාචාර්ය කෙනෙක් වූ පලියට ඔහුට හොඳ දේශපාලකයෙක් වීමට නොහැකි බව රනිල් වික්රමසිංහ මෙහිදී කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් පල කළ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ “වත්මන් ආණ්ඩුව පත් වුයේ ආණ්ඩුවේ සේවකයන්ගේ ඡන්දයෙන්.පඩි වැඩි කරන බවට ආණ්ඩුවේ සේවකයන්ට පොරොන්දු වුණා.සාධාරණ වැටුප් වැඩි වීමක් ගැන කතා කරන්නේ නැතිව උදය සෙනරවිරත්න වාර්තාවෙන් නියම කළ වැටුප් වැඩි වීමක් හෝ ඊට වැඩිපුර වැටුප් වැඩි වීමක් ලබා දෙන බව ජනපති ප්රකාශයක් කළ යුතුයි.එම ප්රකාශය කරන්නට බැරි නම් ඔබ මේ රටේ රජයේ සේවකයන්ගෙන් ඡන්දය ලබාගන්නේ කෙසේද?එම ප්රකාශය කරන්නට බැරි නම් මාලිමාවට කිසිම කෙනෙක්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. මේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමටත් ජනතාවට සහනයක් දීමටත් පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා ” යැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.