හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරුණා.
හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව සේනසිංහ මහතාගේ නිවස පසුගියදා පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමුවූයේ නැහැ.
පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබෙනවා.
එවන් පසුබිමක අද පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.
පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
පසුව නිවස පිළිබඳ කරුණු සොයා එහි එම සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළා.
එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කළා.
සෝදිසියේදී පරීක්ෂා කළේ, රථයේ චැසි අංකය පමණක් බවත් එය එකලස් කළ රථයක්දැයි සොයාගැනීමට නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රය යටතේ මෙම රථය මෙරටට ගෙන්වා ඇති බවයි.
එය නීත්‍යනුකූල ලෙස 2022 වසරේදී ලියාපදිංචිකර ඇති බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම මෙම විමර්ශන සිදුකිරීම සඳහා පොලීසියට බලපෑම් ද එල්ල වී ඇති බව නීතිඥවරයා සඳහන් කළා.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ මහතා පැවසුවේ, ජීප් රථය පිළිබඳ විමර්ශන සඳහා පොලීසියට කිසිවකුගෙන් හෝ බලපෑමක් එල්ල නොවූ බවයි.
කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය, මෙම රථය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, රථය රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සුජීව සේනසිංහ මහතාගේ රියදුරෙකු මාර්ගයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ගොස්, එම වාර්තාව ලැබෙන තෙක් එය සේනසිංහ මහතාට ලබාදෙන ලෙසයි.
ඒ අනුව අද දහවල් කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගියා.
එය සුජීව සේනසිංහ මහතාම රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ධාවනය කළා.
රස පරීක්ෂවරයා වෙත යොමු කිරීමෙන් පසු සේනසිංහ මහතා තම රථය රැගෙන ගියා.