ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට අදාළවයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2024 වර්ෂයේ ඉදිරි කාලය තුළ ඇතැම් අත්‍යාවශ්‍ය වියදම් දැරීම හා ගිණුම්ගත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවක් මගින් සලසා ගත යුතුව ඇති බැවින් ඒ සඳහා හඳුනාගනු ලැබූ ඇතැම් වියදම් 2024 අනුමත වියදම් ඇස්තමේන්තු සීමාව තුළ ප්‍රතිපාදන ගැලපීම මගින් සිදු කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව එම කාර්යන් ඉටු කර ගැනීම සඳහා රුපියල් මිලියන 219,373ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.