මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්රතිචාර දක්වා තිබෙනවා.
ඩේලි මිරර් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ රස වින්දනයක් සහිත මිනිසුන් ලෙස එම අවස්ථාව රසවිඳින ලද බවයි.
‘සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. අගමැති හරිනි අමරසූරිය, සංචාරක ඇමැති විජිත හේරත්, මා ඇතුළු පිරිසකට ඔවුන් ආරාධනා කළා. පක්ෂයේ තවත් අයටත් ආරාධනා කළා. ඒ අය කාර්යාලයට ඇවිත් අපිට ආරාධනා භාර දුන්නා.
කිසියම් උත්සවයක් සඳහා සංවිධානයකින් ආරාධනයක් ඇත්නම් අපි එයට සහභාගි වෙනවා. විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ඇත්නම් ඔබ එයට සහභාගී වෙනවා.
එහි අපට මේසයක් වෙන් කර තිබුනා. ප්රවේශ පත්රය රුපියල් 50,000ක් වූ බව සැබෑය. නමුත් එහි රුපියල් 30,000, 15,000 සහ 7,500 මිල ගණන්වල ප්රවේශපත්ර තිබුණා.
අපි ඒකට සහභාගි වුණා. අපි ඒක රස වින්දා. අපි රසවින්දනයක් තියෙන මිනිස්සු’