ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා, අපේ රටේ බොහෝ පිරිසක් කරදරයට පත්වෙලා,දැඩි අසීරුතාවන්ට ලක්වුනු කාල පරිච්ඡේදයක තමයි අපි ඉන්නේ. ඇත්ත වශයෙන්ම කීවොත් අම්පාර, මඩකලපුව, පොළොන්නරුව,අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුරම රටට බත සපයන ගොවි බිම් තිබෙන්නේ.ඊට අමතරව මේ මහවැලි කලාප, හැබැයි මට පේන්නේ මෑත කාලයේ ගොවි බිම් වෙත එල්ල වුනු දරුණුතම, විශාලතම ස්වභාවික ව්‍යසනය මෙය බවයි. ගං වතුර ගලලා, නිවාස යටවෙලා, සත්තු යටවෙලා, මිනිස්සු අවතැන් වෙලා, කුඹුරු විශාල ප්‍රමාණයක් ගංවතුරින් යටවෙලා විනාශයට පත්වෙලා, මිනිස්සු අසරණ වෙලා යනුවෙන් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසනවා.
ආදීවාසි නායකයා එලෙස පැවසුවේ දඹාන කොටබකිනිය ගම්මානයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින්. තවදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා,
‘මේ ව්‍යසනයෙන් හානියට පත් වූ අයට විතරක් නෙවෙයි. මේ එන ඉදිරි කාලයේ මේ රටටම ආහාර හිඟයකට මූණ දෙන්න සිදුවෙයි. හැබැයි දැන් මේ ආණ්ඩුවට ලොකු වගකීමක් තිබෙනවා. මේ වගා හානිට ලක් වූවන්ට ආධාර කරන්න.ඒ කාලේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිව සිටි නාමල් කරුණාරත්න මහත්මයා.අද ඇමතිවරයෙක්, මා එතුමාව ඉතා හොඳින් හඳුනනවා,දන්නවා,එතුමා ඉතා හිතවත්,ගොවියා වෙනුවෙන් විශාල අරගල කරපු කෙනෙක්. මම දැක්කා ඊයේ පෙරේදා එතුමා කියනවා ගංවතුරින් හානියට ලක්වූවන් සඳහා අක්කරයකට රුපියල් හතළිස් දාහක් දෙනවා කියලා. කරුණාරත්න මහත්තයා කල්පනා කරල බලන්න.
දැන් අක්කරයක බිමක් හාන්නත් රුපියල්හතලිස් දාහකට වැඩියෙන් යනවා.එතකොට කුඹුරට දාන්න බෙහෙත්, පොහොර ගන්න යන වියදම, ඒවා ගන්නෙත් කඩෙන්, එතකොට බිත්තර වී, බිත්තර වී ගෙදර තියෙන වී වලින් හදලා ගන්නවා නෙවෙයිනේ, ඒවා ගන්න ඕනත් කඩෙන්, බූසලක් රුපියල් හාරදාහක්,පන්දාහක් විතර වෙනවා.ඉතින් කඩෙන් හරි වෙන කොහෙන් හරි සල්ලි දීලා තමයි ඔය මිනිස්සු ඔය බිත්තර වී අරන් වපුරලා තියෙන්නේ.
මෙහෙම බැලුවම අක්කරයකට රුපියල් හතළිස් දාහකට වැඩි මුදලක් වැය වෙනවා කියලා ඕන කෙනෙකුට තේරෙනවා.ගොඩක් දෙනා මේවා කරන්නේ තමන්ගේ නිවසේ තියෙන කණකර ආභරණ උකස් කරලා. ඉතින් රුපියල් හතලිස් දාහක් කියන සීමාව අසාධාරණයි නේද?
මම කියනවා කරුණාරත්න ගරු ඇමතිතුමාට මේ ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න. මේ මිනිසුන්ට අත්වෙලා තියෙන ඉරණම ගැන හිතලා සාධාරණ වන්දියක් ගෙවන්න කියලා මම ඉල්ලා සිටිනවා. වගා කන්නේ ආරම්භ වුණා විතරයි. තවම ලොකු කාලයක් ගතවෙලාත් නෑ. සමහර විට ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන හානිවුණු කුඹුරුවල කන්නය නැවත ආරම්භ කරන්නත් පුළුවන්’ යයි ප්‍රකාශ කළා.