ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවයි.
ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළා.
මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් ද රජය විසින් නිකුත් කරනු ලැබුවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් නියෝගවලට අනුව පාලන මිල යටතේ වෙළෙඳසැල් වෙත සහල් තොග ලැබෙමින් පවතින බව වාර්තා වනවා.
අද උදෑසන සිටම සහල් මෝල් හිමියන් විසින් පාලන මිලට තමන් වෙත සහල් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි වෙළඳුන් පවසන්නේ.
රට තුළ පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සහල් සඳහා නව පාලන මිලක් පැනවීමට රජය පියවර ගනු ලැබුවා.
ඒ අනුව අද දිනයේ සිට අදාළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියා.
ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව තමන් වෙත පාලන මිලට සහල් තොග ලැබෙමින් ඇති බව දඹුල්ල නගරයේ වෙළෙඳුන් පවසනවා.