ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු ජනතාව බදු ගෙවීම සඳහා උනන්දු වෙමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරනවා.
ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන වැඩසටහනක් හඳුන්වාදීමත් සමඟ ජනතාව බදු ගෙවීමට කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසුවා.
ඔහු මේ බව කියා සිටියේ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අමතමින්.
“ජනතාව ගෙවන බදු මුදල් ආරක්ෂා කරන වැඩසටහන් අපි ඉදිරිපත් කර තිබෙනවා. අපගේ වැඩසටහන කර්මාන්තශාලා හිමියන් සහ බදු ගෙවන්නන් විසින් පිළිගෙන තිබෙනවා. එබැවින් බදු ගෙවන්නන් ස්වයං බදු ගෙවීම සඳහා වඩාත් උනන්දු වෙමින් සිටිනවා. ගෙවීම් පැහැර හරින අයට දෙසැම්බර් 30 වැනිදාට පෙර බදු ගෙවීමට අපි අවසාන දිනයක් ලබා දී තිබෙනවා.
එම කාලය තුළ බදු ගෙවීමට ජනතාව කටයුතු කරාවි. ජනතාව බදු ගෙවීමට කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් ගෙවන බදු මුදලින් කරන වැඩසටහන් පිළිබඳව ඔවුන්ට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටියා.
ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවය සහ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ඉතා සරල වුණා. පසුගිය රජය නම් මේ සඳහා විශාල ජනතා බදු මුදල් වැය කරන්න තිබුණා. එසේම විවිධ අමාත්‍යාංශවලට අයත් ආයතන රැසක් පෞද්ගලික කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා රජය විශාල මුදලක් කුලී ලෙස ගෙවා තිබෙනවා”