
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා මැතිවරණ කොමිසම වෙත නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විසින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළා.
පෙත්සම්කාර රවුෆ් හකීම් මහතා කියා සිටින්නේ, ඉකුත් ජනාධිපතිවරණයේදී තමන් නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ බවයි.
එමෙන්ම ඉකුත් මහ මැතිවරණයේදී තම පක්ෂය විසින් සමගි ජන බලවේගය සමඟ ඉකුත් ඔක්තෝබර් මස 10 වනදා මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ලිඛිත අවබෝධතා ගිවිසුමක් ඇති කරගත් බවත් පැමිල්ලිකරු සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්කිරීමට සමගි ජන බලවේගය එකඟ වූ බවත් පැමිණිල්ලේ සඳහන් වනවා.
එම අවබෝධතා ගිවිසුමට අනුව සමගි ජන බලවේගයට කවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබුණත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙත ලබාදීමට බැඳී සිටින බවත් එහි සඳහන් වුණ බවයි පැවසෙන්නේ.
එහෙත් සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා විසින් ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතර සඳහා නම් යැවීම පැහැර හරිමින් සිටින අතර එය තම පක්ෂය සමඟ ඇති කරගත් ගිවිසුමට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රවුෆ් හකීම් මහතා එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.