මොහොමඩ් නබීගේ ඉවසිලිවන්ත ඉනිමත්, දඹුල්ල පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ දඹුල්ල ‘සික්සර්ස් ’ සහ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයෙන් දඹුල්ල කණ්ඩායම ජය ගත්ත ද දඹුල්ලේ ඉලක්කය වූ අවසාන කණ්ඩායම් 4 අතරට යෑමේ බලාපොරොත්තුව අතහැර ගැනීමට ඔවුන්ට සිදු වුණා.
පළමු වටයේ මෙතෙක් පැවැති තරග අතරින් තරග 3 බැගින් දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් ජය ගත්ත ද ශුද්ධ දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව කැන්ඩි ෆැල්කන්ස් ඉදිරියෙන් සිටීම හේතුවෙන් අවසාන කණ්ඩායම් 4ට යෑමේ අවස්ථාව හිමිවුණා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වන තරගය ලෙසත් පළමු වටයේ අවසාන තරගය ලෙසත් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කළම්බු පරදා ලකුණු 28ක ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
කාසියේ වාසිය දිනාගත් කළම්බු ස්ට්‍රයිකර්ස් නායක තිසර පෙරේරාගේ ඇරැයුමින් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 123ක් ලබාගත් අතර, එයට පිළිතුරු ලෙස කළම්බු කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 18යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 95ක් පමණයි.
ඒ අනුව දඹුල්ල කණ්ඩායමට ලකුණු 28ක ජයක් අත්කර ගැනීමට හැකි වුණා.
ඒ අනුව අද (18දා) පළමු අවසන් පූර්ව තරගය ලෙස ප්‍රසාද ලකුණු සටහනේ එක සහ දෙක ස්ථානයේ පසුවන ගාල්ල මාවලස් සහ ජැෆ්න කිංග්ස් අතර තරගය අද (18දා) ප.ව. 3.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිත දෙවැනි අවසන් පූර්ව තරගය වන කැන්ඩි ෆැල්කන්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ කණ්ඩායම සමග (20දා) තරග වදිනවා.
එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම (21දා) පැවැත්වීමට නියමිත අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නවා ඇති.