රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහාලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
වැඩ තහනම් කළ අය අතර නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු සිටින බවයි වාර්තා වන්නේ.
මෙම බහාලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද පැවසෙනවා.
මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහාලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැකි වූ බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.
එම බහාලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බව කී එම නිලධාරියා රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර යවා තිබෙනවා.
රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වනවා.
කෙසේවෙතත් බලධාරීන්ගේ මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි වී තිබෙනවා.