නවසීලන්ත තරග සංචාරයට නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියා.
මෙහිදි අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙන බවයි.
එමෙන්ම තරගාවලියේ දී සිදුවු වැරදි මින් ඉදිරියට සිදුවිය නොහැකි බවත් වැරදි නිවැරදි කරගෙන ඉදිරි තරග ජයග්‍රහණය කළ යුතු බවත් සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කළා.
“20යි 20 තරගාවලිය ඇත්තටම කනගාටුයි පරාජය වුණ එක. එක තරගයක් නෙමෙයි අපිට තරග දෙකක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න තිබුණා. මම හිතනවා කණ්ඩායමටත් ලොකු කනගාටුවක් තියෙනවා තරග පැරදීම ගැන. පන්දුවාර 50 තරගාවලියේ දී අවසාන තරගය ඉතාමත් හොඳට තරග කළා. පළමු තරග දෙකේ තමයි අපේ පිතිකරුවන් පළමු පන්දු වාර 10 වගේ තමයි ලකුණු අතර හිටියේ නැත්තේ. කඩුලු 4ක් 5ක් වැටුණහම අමාරුයි. දෙවැනි තරගයේ දී වැරදි හදාගෙන තරග කළා. මේ වැරදි ඉස්සරහට වෙන්න බෑ. පුළුවන් තරම් අඩුකරගෙන රටින් පිට යද්දි ඒක හදාගන්න ඕනේ. පැතුම්ගේ කකුලේ ආබාධය බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඔස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් තරග දෙක මේ මාසේ අන්තිමට තියෙන්නේ. ඉන්න ක්‍රීඩකයෝ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න ඕනේ.”
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමග තරග 3කින් සමන්විත 20-20 තරගාවලියකට සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වුණා.
20-20 තරගාවලිය 2ට1ක් ලෙස ශ්‍රී ලංකා පිල පරාජයට පත් වූ අතර එක්දින තරගාවලියද 2ට1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
එම තරග සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි, ශ්‍රී ලංකා නායක, චරිත් අසලංක මෙලෙස අදහස් දැක්වූවා.
“තරගාවලිය බලාපොරොත්තු වුණ විදියට කරගන්න හම්බවුණේ නෑ. හැබැයි ගොඩක් පොසිටිව් තිබුණා ටුවර් එකේ. කලින්ට වැඩිය ගොඩක් වෙනස් අපි මැද්දේ ගහන විදිය. දිනන පරදින එක වෙන්න පුළුවන් අපි දෙපැත්තම භාරගන්න ඕනේ. නමුත් තරගයට යන්නේ අනිවාර්යෙන්ම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. ගොඩක් පොසිටිව් තිබුණා. කුසල් ජනිත් ශතකයක් ලබාගත්තා. ඒක සෑහෙන කාලයකින් අපි ලබාගෙන තිබුණේ. වන්ඩේ අන්තිම තරගයත් අපි හොඳම විදියට ඉවර කරා. ඒවා තමා ගන්න පුළුවන් පොසිටිව්. කන්ඩිෂන්වලට ඉක්මනින් ඇජෙස්ට් වෙලා ක්‍රිඩා කරන එක තමා ඉක්මනින්ම කරන්න ඕනේ ක්‍රීඩකයෝ විදියට.”