
අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු කන්ටේනර් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව සමාජගත වූයේ, පසුගිය ජනවාරි 21 වනදායි.
එහිදී මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළ රේගු නිළධාරී සංගමයේ සභාපති අමිල සංජීව අවධාරණය කළේ, මෙලෙස පරීක්ෂාවකින් තොරව රේගුවෙන් පිටකර ඇත්තේ, කුඩුද?, ආයුධද?, වෙනත් නීතිවිරෝධි දේවල්ද? කියා තහවුරු කරගැනීමට නොහැකි බවයි.
ජනවාරි 23 වන දින මීට ප්‍රතිචාර දැක්වූ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් ජයකොඩි කියා සිටියේ එවැනි නීතිවිරෝධී ද්‍රව්‍යයක් පිටවී ඇතැයි හෙළිවුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බවයි.
ඇමතිගේ ටිකිරි උත්තර එලෙස වූවාට, මේ රටේ ජනතාවනම් මෙහි බරපතලකම හොඳින්ම දන්නේය. මන්ද මේ පිටකළ කන්ටේනර් 323 කුඩු හෝ, ආයුධ හෝ, වෙනත් තහනම් ද්‍රව්‍යයක් හෝ අඩංගු බව පවසා ආනයනය කළ ඒවා නොවන නිසාය. මේවා තුළ යම් තහනම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් ඇත්තම් ඒ තිබෙන්නේ ආනයනය කළ භාණ්ඩ අතර සූක්ෂමව සඟවලාය.
ඉතිං දැන් වරායේ ගේට්ටුවෙන් පිට කළ බහාලුම් 323 විවෘත කර එවැනි දේ තිබුණේ නම් ඒවා අවශ්‍ය තැන්වල සඟවන්නටත් ඕනෑ තරම් කල් වේලා ඇතිය.
මන්ද මේ බහාලුම් 323 පැය 2ක් වැනි කෙටි කාලයකදී මුදා හැර තිබුණේ, පසුගිය ජනවාරි 17 සහ 18 දෙදිනය තුළය.
මේ සිදුවීම ගැන මාධ්‍ය හමුවේ පැවසූ දේට වැඩි යමක් රේගු වෘත්තීය සමිති සන්ධානය 2025.01.21 වන දිනම ලිඛිතව රේගු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ලිපියක් යොමු කර තිබුණා.
එහි ප්‍රධාන ශීර්ෂය තුළින්ම මෙම සිදුවීමේ බරපතලකම නිවැරදිව හඳුනාගත හැකියි.
‘ව්‍යාජ බහාලුම් තදබදයක් මවා පෑමෙන් සහ එලෙස කෘතිමව ඇති කරන ලද දිගු ආනයනික බහාලුම් පෝලිමට මුවා වී අවදානම් කළමණාකරන නිර්ණායකවලට පටහැනිව බහාලුම් මුදා හැරීම හා එලෙස බහාලුම් මුදාහැරීම මගින් රාජ්‍යයට හිමිවිය යුතුව තිබූ රාජ්‍ය ආදායම අහිමි කිරීම සහ සමාජ ආරක්ෂණයට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයක් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම’ එම ශීර්ෂයයි.
එහි අවධානයට ලක්කර තිබූ කරුණු 5ද ඉතාම වැදගත්ය.
- මෙම බහාලුම් 323 ම අවදානම් කළමණාකරන අංශය මගින් Red/ Amber Channel යටතේ අවදානම් ලෙස හඳුනා ගනු ලැබූ අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු බහාලුම් බවට නිගමනය කර තිබීම.
- අවදානම් කළමණාකරන නිර්නායක මගහැර භාණ්ඩ මුදා හැරීම තුළින් අවදානම් කළමණාකරන නිර්නායක නොසලකා හැරීම.
- එලෙස අවදානම් ලෙස හඳුනාගත් බහාලුම් කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරීම නිසා රාජ්‍ය බදු ආදායම අහිමිවීම, අන්තරායකර සහ තහනම් භාණ්ඩ මහජනතාව වෙත මුදා හැරීම සහ වෙළඳ ප්‍රජාව තුළ තෝරාගත් පිරිසකට අනවශ්‍ය වාසියක් ලැබීම.
- මෙතෙක් අවදානම් කළමණාකරන නිර්නායක අනුව කඩිනමින් නිශ්කාෂණය කළ බහාලුම් අනවශ්‍ය ලෙස ප්‍රමාද කොට පෝලිම් ගසා කෘතිම ගැටළුවක් නිර්මාණය කර ඒ හරහා ඇතැම් කූඨ ආනයනකරුවන්ට, බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ට සහ ජාවාරම් මෙහෙයවන වාප්පු ලිපිකරුවන්ට මහජන මුදල් ගසා කෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.
- අදාළ බහාලුම් 323 හි ඇතැම් ආනයනකරුවන්ට සහ භාණ්ඩ නිශ්කාෂන ආයතනවලට රේගු වැරදි සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී දණ්ඩන පමුණුවා තිබීම සහ එම දත්ත තිබියදී ඒවා නොසලකා හරිමින් බහාලුම් මුදා හැරීම.
මෙම රේගු බහාලුම් මුදා හැරීමේ වංචාව සම්බන්ධයෙන් දැන්, දැන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වෙමින් තිබෙනවා.
මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන තිළිණ මලලසේකර තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, තවමත් මේ ගැන කරුණු සොයන අපේ ගවේශණාත්මක මාධ්‍යවේදීන්ට ඕනෑනම් හෝඩුවාවක් දීමට පුළුවන් කියාය.
රේගුවට සම්බන්ධවෙලා හිටපු කෙනෙක් දැන් ජනාධිපති ළඟ ලේකම් කෙනෙක් බවත්, කන්ටේනර්වල බඩු ගෙන්වන සමාගමක ප්‍රධානියෙක් මේ ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයෙක් බවත් ඔහු පෙන්වා දී තිබුණා.
පුර්වාපර සන්ධි ගලපා කතාව හදාගන්නට ආරාධනා කරන තිළිණ, මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ ලොකුම වංචාව විය හැකි බවටත් අනුමානයක් කර තිබුණා.
මේ අතර මාධ්‍යවේදී සංජීව බටුවත්තද තම මුහුණපොතේ සටහනක් තබමින් මහබැංකුව ගැන ලියූ අයට කන්ටේනර් හොරකම ගැන ලියන්නේ නැත්තේ ඇයි ? කියා ප්‍රශ්ණ කර තිබූ අතර මෙම කන්ටේනර් 323 නේ තිබුණේ, කුඩු?, රත්‍රං? ආයුධ ? කියා විමසන අතර, මේවා පැමිණ ඇත්තේ කාගේ නමටද? පරීක්ෂණ යට ගහන්නේ කවුද? යන්නත් විමසා තිබුණා.
සැබවින්ම මෙම බහාලුම් 323 පරීක්ෂණයකින් තොරව පිට කිරීම පැති කිහිපයකින් බරපතල ප්‍රශ්ණාර්ථ රැසක් මතු කරන සිදුවීමක්.
මෙය සැලසුම් කළ අය ඇතැම්විට තහනම් දෑ සමාජගත කිරීමත්, රටට හිමිවිය යුතු බදු ආදායම් අහිමි කිරීමත්, කූඨ ආනයනකරුවන් කිහිපදෙනෙකුට වෙළඳපොල තුළ අනවශ්‍ය වාසියක් ලබාගැනීමට උදව් දීමත් අරමුණු කරගන්නට ඇතිය.
එදා සීනි බදු වංචාව, සුදුළූණු වංචාව, පොල්තෙල් වංචාව ලෙසම මෙයද ජනතාවගේ ඇසට වැලි ගසා ආණ්ඩුවේ ඇතමුන් හා රජයේ ඉහළ තනතුරු දරන නිළධාරීන් පිරිසක් එකට එක්ව සිදුකළ තවත් වංචාවක් නොවන්නේද?
සමහරුන්ගේ කල් මැරීමත්, සමහරුන්ගේ මුනිවත රැකීමත්, සමහරුන්ගේ ක්‍රියාකාරීත්වයත්, මේ වනවිට බහාලුම් 323 පිට කිරීම වෙනුවට, නැව් හරවාගෙන යාමක් ගැන පරීක්ෂණ ඉල්ලා මාතෘකාව වෙනතකට යොමු කිරීමට දරණ උත්සාහයන් හමුවේ අපගේ මෙම සැකය තවදුරටත් තහවුරු වන්නේය.
( ජාත්‍යන්තර රේගු දිනය අදයි )