
වරාය තුළ පැවැති බහාලුම් තදබදය බොහෝදුරට අවසන් වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ, එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වී නැතත් යම්තාක්දුරට අවසන් වී ඇති බවයි.
මේ අතර වරාය තුළ පවතින බහාලුම් තදබදයට විසඳුමක් ලැබුණු බව ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම් ඉර්ෂාඩ් නියාස් මහතා පවසනවා.
ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම්වරයා ඒ බව සඳහන් කළා.
ඔහු සඳහන් කළේ, දින හතරක දිවා-රාත්‍රී මෙහෙයුමකින් පසු මෙම බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවූ බවත් ඒ සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලුදෙනාටම ස්තූතීවන්ත වන බවත්ය.
වරාය තුළ ඇතිවූ බහාලුම් තදබදය වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර පැවැති එකක් බවද ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.
වරාය තුළ පැවැති බහාලුම් තදබදය හේතුවෙන් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමිවී ගිය බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර බහාලුම් රථ ගාල් කිරීම සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අංගනයේ වැඩකටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් නිමාකර කඩිනමින් රේගුවට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (03) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.