
ජාතික තරුණ සේවා සභාවේ උත්සව හා වැඩසටහන් සඳහා වෙන් කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක්, පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
එහිදී හෙළිදරව් වුණේ, මෙම මුදල් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කරන ලද චෙක්පත් මඟින් ගෙවී ඇති බවයි.
සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් අනුමත කළ බවත්, එසේ නොකළේ නම් තමන්ට ස්ථාන මාරුවීම් ලැබිය හැකි බවට සැලකුණු බවත්, තරුණ සේවා සභාවේ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, නිලධාරීන්ට තම කාර්යභාරය නිවැරදිව ඉටුකරන ලෙස අවධාරණය කළා.
එවකට මුදල් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා කාරක සභාවට පැමිණ සිටියද, පහළ නිලධාරීන් අදහස් දැක්වූ අවස්ථාවලදී නිහතමානීව සිටිමින් ප්‍රශ්න වලට පිළිතුරු නොදීමට උත්සාහ කළ බවද, එය කාරක සභාව නොමඟ යැවීමක් බවද එහිදී අවධාරණය කෙරුණා.
ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වැඩිදුරටත් හෙළිදරව් කළේ, ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10 ක් ලැබුණු බවයි.
සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් අනුමත කර චෙක්පත් නිකුත් කළ බවද ඔවුන් කියා සිටියා.