
2025 පෙබරවාරි ප්රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.
වෙරිටේ රිසර්ච් විසින් අද (23) එම තොරතුරු ඇතුලත් නිවේදනය ඉදිරිපත් කර තිබෙනවා.
2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බව සඳහන් වනවා.
ආර්ථික අර්බුදයෙන් පසු ප්රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්රතිඵල වලින් කියැවෙන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.
එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්රතිශතයට වඩා අඩුයි.
සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව තිබෙනවා.
තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව තිබෙනවා.