
සටන්විරාම එකඟතා උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
ඊශ්‍රායලය පවසන්නේ එම ප්‍රහාරවල ඉලක්කය හමාස් සංවිධානය බවයි. කෙසේ වෙතත්, මේවා තුළින් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත්තේ සිවිල් වැසියන්ද වනවා.
පසුගිය ජනවාරි 19 වැනිදා අත්සන් කළ සටන්විරාම ගිවිසුමෙන් පසු, ගාසා වෙත එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙස මෙය ඉතිහාසගත වී තිබෙනවා.
ගාසා හි සියලුම ප්‍රදේශ ඉලක්ක කරමින් පවත්වන ලද මෙම ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව ඇත්තේ දකුණු ගාසා හි ඛාන් යුනිස් සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතයි.
ගාසා බලධාරීන් පවසන්නේ මියගිය අය අතර ළමයින්ද ඇති බවයි.
සටන්විරාම ගිවිසුම අවසන් වීමට නියමිත බවට පෙනී යන අතර, ගාසා වෙත සියලු භාණ්ඩ සැපයුම් නවතා දැමීමට ඊශ්‍රායලය සති කිහිපයකට පෙර කටයුතු කළා.
එය සටන්විරාම ගිවිසුමේ පළමු අදියර දික්කර ගැනීමට බල කිරීමේ උත්සාහයක් වූ බව පැවසූවත්, හමාස් සංවිධානය එයට එකඟ නොවීම හේතුකොටගෙන, ඊශ්‍රායලය ගාසා වෙත විදුලිය සැපයුම නවතා දැමුවා.
ඊට අමතරව, ඊශ්‍රායලය අතරමං ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර, ඊයේ දිනයේදී දැවැන්ත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වුණා.
මෙම ප්රහාරවලදී ගුවන් බෝම්බ ප්‍රහාරවලට අමතරව, දකුණු ගාසාහි ඛාන් යුනිස් වෙත යුද ටැංකි හා ශෙල් ප්රහාරද එල්ල කර ඇති බව අල් ජසීරා වාර්තා කර සිටියා.
ඊශ්‍රායලය මෙම ප්‍රහාරවලට පෙර අමෙරිකාව දැනුම්වත් කර ඇති බවටද වාර්තා වනවා.
ඊශ්‍රායලය පවසන්නේ, හමාස් සංවිධානය නැවත සකස් වීමේ ක්‍රියාවලියක නිරත වන බවත්, අවශ්‍ය නම් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්ය. තවද, ගොඩබිම් ප්‍රහාරයක්ද එල්ල විය හැකි බවට ඉඟි පළ කර තිබෙනවා.
මේ අතර, අමෙරිකාවද මේ වන විට යේමනයේ හූති සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඒ සඳහා ප්‍රතිචාර ලෙස, රතු මුහුදේ අමෙරිකානු යුද නෞකාවක් වෙත ප්‍රහාරයක් එල්ල කළ බව හූති සටන්කාමීන් කියා සිටියා.