
මැලේසියාවේ ෂා අලාම් හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයක් අතරතුර විදුලි සැර වැදී මිය ගොස් ඇති බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයකු හමු වී තිබෙනවා.
ඔහු අසල ඒ අයුරින්ම මියගොස් සිටි බල්ලකු ද හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
මැලේසියානු ප්රවෘත්ති නාලිකාවක් වන ඇස්ට්‍රෝ අවනි වාර්තා කළේ මියගොස් සිටින පුද්ගලයා 27 හැවිරිදි අයකු බව ෂා අලාම් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානී මොහොමඩ් ඉක්බාල් ඉබ්‍රහිම් පැවසූ බවයි.
“මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ එම පරිශ්‍රය වින්දිතයා නිවස ලෙසින්ද තබාගෙන ඇති බවයි. විදුලි සැර වැදී ඇති බවට විශ්වාස කෙරෙන බල්ලකු ද වින්දිතයා අසල මියගොස් සිටියදී සොයා ගැනුණා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මොහොමඩ් ඉක්බාල් පැවසුවේ මළ සිරුර වෙත ළඟා වී පරීක්ෂණ පැවැත්වීමට පෙර ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරන තෙක් පොලිසියට බලා සිටීමට සිදු වූ බවයි.
“වින්දිතයාගේ මළ සිරුරේ ගැටුමකින් ඇති වූ තුවාල හෝ වෙනත් තුවාල සලකුණු හමු වුණේ නැහැ. දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යවා තිබෙනවා ” යනුවෙන් ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙස වර්ගීකරණය කර ඇති බව ද මාධ්‍ය වාර්තාවේ සඳහන් වනවා.