
කොළඹ ගෝල්ෆේස් පිටියේ ජාතික ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින උත්සවයේ පීඨිකාව අනවසරයෙන් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් පුද්ගලයෙකු සැකපිට ප්රශ්න කිරීම සඳහා ඊයේ (මැයි 1) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසනවා.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනය හා ඔහු පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා.
ලෝක කම්කරු දිනය සැමරීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂය විසින් ගාලුමුවදොර පිටියේ සංවිධානය කර තිබූ මැයි දින රැලියට ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්රිවරු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව තිබුණා.
සැකකාර පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ජංගම දුරකතනයෙන් පීඨිකාව, උත්සව භූමිය හා මාර්ගයේ ඡායාරූප ලබා ගන්නා අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමග ම එම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලිසිය වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමෝදර, උඩුවර, නේපියර් පහළ කොටස ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක් බව ත් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය කර ගත් බව ත් පොලිසිය සඳහන් කළා.
පින්තාරුකරුවෙකු වශයෙන් රැකියාව කරන සැකකරු කිරුළපන ප්රදේශයේ තාවකාලිකව පදිංචි අයෙක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසනවා.
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වනවා.