
ගල්කිස්ස – වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී 19 හැවිරිදි තරුණයෙකු අද (05) උදෑසන 6.35ට පමණ වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර තරුණයාට වෙඩි තබන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන පෙළක් මාධ්‍යයට ලැබී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති අතර, තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
මෙම තරුණයා නගර සභා සේවකයෙකු වන අතර, ඔහු වෙරළ පාරට හැරෙන මංසන්ධියේ අතුරු මාර්ගයක් අතු ගාමින් සිටියදී සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ වෙඩි තබන අයුරු මීට පෙර CCTV කැමරාවක සටහන්ව තිබුණා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා අනතුරුව ප්‍රධාන මාර්ගය දෙසට දිවයද්දී සැකකරුවන් දෙදෙනා යළිත් ඔහු ලුහුබැඳ ගොස් වෙඩි තබා ඝාතනය කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
දෙහිවල – ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙකු වන තරුණයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඔහුගේ මව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනා මත මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර, මියගිය තරුණයා 2023 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔහු බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.