පාර්ලිමේන්තු මාර්ගයේ අද (03) සිදු වූ මාරක රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගිය තරුණයා වයස අවුරුදු 16 ක අයෙක් වන අතර මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළා.
අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවී තිබුණේ පාර්ලිමේන්තු මාර්ගයේ යුද හමුදා ස්මාරකය ඉදිරිපිටදීයි.
එම අනතුර තවත් මෝටර් රථයක තිබූ පසුපස කැමරාවක සටහන්වී තිබුණි.
මෝටර් රථය අධික වේගයෙන් පැමිණ මාර්ගයේ අනෙක් පසට ගමන් කර එම තීරුවේ පැමිණි වෑන් රථයක ගැටෙන අයුරු එහි සටහන්ව තිබුණා.
අනතුර සිදුවීමට පෙර මෝටර් රථයේ රියදුරු අධික වේගයෙන් එය ධාවනය කරන අයුරු එහි සිටි අයෙක් ජංගම දුරකථනයක රූගත කර තිබුණා.
අනතුරින් මෝටර් රථය දෙකඩ වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන විට මෝටර් රථයේ පුද්ගලයන් 4ක් ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මෝටර් රථයේ ගමන් ගත් අයෙක් මේ වනවිට තලංගම පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
අනතුරට ලක් වූ වෑන් රථය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට අයත් රථයක් වන අතර එහි සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.