
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාලන බලය පිහිටුවීම සඳහා සහයෝගය දෙන්නේනම් විවිධ තනතුරු වරප්‍රසාද සහ වරදාන ලබාදීමටද ඒ ඒ දේශපාලන පක්ෂ පොරොන්දු දෙමින් සිටින බවද දැනගන්නට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගය පිහිටුවන බවයි.
ජාතික ජන බලවේගය පවසන්නේ බහුතර මන්ත්‍රීවරුන් තම කණ්ඩායම දිනා ගෙන ඇති හෙයින් ඒ පාලන බලය පිහිටුවීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ආණ්ඩුවට බවයි. පාලන බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරන බව ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසයි.
මේ අතර කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය එහි බලය පිහිටුවීමට කිසියම් බාධාකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට තිබෙනවා.
මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම යම් අවදානමට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවුණා.
සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයට බව දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා. මේ අතර සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර තිබෙනවා.
මෙරට මහ නගර සභා අතර විශේෂ අවධානයක් දිනා ගැනුණු නගර සභාව වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ නගරයේ බොහෝ කටයුතු පාලනය කෙරෙන කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගැනීම දේශපාලනික වශයෙන් විශාල ශක්තියක් වන හෙයින් එහි බලය ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ කාලයක සිට ලොකු උනන්දුවක් දක්වනවා.