බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි.
මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවයි.
1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ආරම්භ කළා.
එම උද්ඝෝෂණ පාලනයට රජය බලය පාවිච්චි කළ අතර ඉන් විශාල පිරිසක් මරණයට පත්වුණා.
පසුව ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ තීරණය වෙනස් කළ අතර අනතුරුව එරට තුළ උද්ඝෝෂණ අඩු වුවද පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරකින්.
එහිදී උද්ඝෝෂකයින් බලකර සිටියේ අගමැතිවරිය ඉවත්විය යුතු බවයි.
පසුගිය දින දෙකේදී 100කට අධික පිරිසක් මියගියා.
ඊයේ බංග්ලාදේශය පුරා නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවූ අතර නමුත් විරෝධතාකරුවන් එය නොසලකා හරිමින් ඩකා අගනුවරට එක්රැස් වුණා.
පසුව ඔවුන් අගමැතිවරියගේ නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණා.
උද්ඝෝෂකයින් පැමිණීමට පෙර අගමැතිවරිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත්වුණා.
කෙසේ නමුත් උද්ඝෝෂකයින් විසින් අගමැතිවරියගේ නිල නිවසේ තිබූ බඩු භාණ්ඩ රැගෙන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.